ශ්‍රී ලංකාව කඩුලු පහකින් ඉන්දියාව පරාජය කරයි
මාලිගාවත්ත, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද දින පැවැති, නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 05ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමිනි.
ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 05ක ට ලබාගත් ලකුණු 174ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු 05ක ට ලකුණු 175ක් ලබා ජය ලැබුවේ පන්දු නවයක් ඉතිරිව තිබිය දී ය.
ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පැමිණි අවස්ථාවේ ප්‍රථම ඕවර 05 දී ලකුණු 70ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව ජය මාවත පහසු කරගත්හ. මෙහිදී දැඩි ආක්‍රමණශීලී පිති හරඹයක නිරතවූ අංක 03 පිතිකරු, කුසල් ජනිත් පෙරේරා ඉනිමේ තුන්වන ඕවරයේ දී තාකුර්ගේ ප්‍රථම ඕවරයෙන් ලකුණු 27ක් ලබාගත්තේ හතරේ 05ක් හා හයේ පහරක් (නිපන්දුවක් ද සමඟ) සමඟිනි.
කුසල් මෙන්ඩිස් ලකුණු 11ක ටත්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 19ක ටත් (පන්දු 12යි හයේ 02යි හතරේ 01යි), නායක, දිනේෂ් චන්දිමාල් ලකුණු 14ක ටත් දැවී ගියත්, කුසල් ජනිත් මුළු ලකුණු සංඛ්‍යාව 127 වන තෙක් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉන්දීය පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් කරමින්, ලකුණු 66ක් රැස් කළේ පන්දු 37කදී හතරේ 06ක් හා හයේ 06ක් සමඟිනි. තරගයේ වීරයා ලෙස තේරුණේ කුසල් ජනිත් පෙරේරා ය.
ශ්‍රී ලංකා ඉනිම අග භාගයේදී උපුල් තරංග ලකුණු 17ක ට දැවී ගිය පසු, දසුන් ශානක නොදැවී ලකුණු 15ක් ද, තිසර පෙරේරා පන්දු 10ක දී හයේ 01ක්, හතරේ 02ක් සමඟ නොදැවී ලකුණු 22ක් ද ලබා ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියේ තරගය නැරඹීමට පැමිණි විසිපන්දහසක පමණ ජනකාය අමන්දානන්දයට පත් කරමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා, තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම ඉන්දියාවට පැවරීමට ය. දුෂ්මන්ත චමීර යැවූ තරගයේ ප්‍රථම ඕවරයේ සිව්වන පන්දුවට ඉන්දීය නායක, රෝහිට් ෂර්මා එල්ල කළ පහරක් ජීවන් මෙන්ඩිස් දක්ෂ අයුරින් උඩපන්දුවක් ලෙස රැකගැනීමෙන් ෂර්මා එක් ලකුණක්වත් නොලබා දැවී ගියේ මුළු ලකුණු එකක් ව තිබිය දී ය. දෙවන ඕවරය යැවූ නුවන් ප්‍රදීප්ගේ අවසාන පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් අංක තුන පිතිකරු, සුරේෂ් රයිනා එක් ලකුණකට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව නවයේ දී ය.
ඉන්දීය තෙවන කඩුල්ලට සිකර් ධවාන් සහ මනිෂ් පාන්ඩෙ ආක්‍රමණශීලී පිති හරඹයක නියැලෙමින් ලකුණු 94ක් රැස් කළේ පන්දු 64ක දී ය. මුළු ලකුණු සංඛ්‍යාව 104 (ඕවර 12.4)ක් තිබියදී ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවකට පාන්ඩෙ දැවී ගියේ ලකුණු 37ක (පන්දු 35යි, හතරේ 03යි, හයේ 01යි) ට ය.
ඉන්දියාවේ සම්පූර්ණ ඉනිම රඳා පැවතියේ ආරම්භක පිතිකරු සිකර් ධවාන්ගේ ඉනිම වටා ය. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස දහඅට වන ඕවරයේ අවසාන පන්දුව තෙක් කඩුල්ලේ රැඳුණු ධවාන් පන්දු 49ක ට පමණක් මුහුණ දී හතරේ පහර 06ක්, හයේ පහර 06ක් සමඟ ඉක්මන් ලකුණු 90ක් ලබා, ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවකට තිසර පෙරේරා අතට උඩපන්දුවක් දී දැවී ගියේ මුළු ලකුණු 154 දී ය.
අවසාන ඕවර දෙකේ දී ඉන්දියාව ලකුණු 21ක් ලැබීය. පාන්ට් පන්දු 23ක දී ලකුණු 23ක් ද, දිනේෂ් කාතික් පන්දු 06ක දී නොදැවී ලකුණු 13ක් ද ලැබූහ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් දුෂ්මන්ත චමීර ලකුණු 33ක ට කඩුලු 02ක් ද, ජීවන් මෙන්ඩිස් ලකුණු 21ක ට එක් කඩුල්ලක් ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 16ක ට එක් කඩුල්ලක් ද දවාලූහ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-