පාකිස්තානය තෙවන එක්දින තරගයත් ජයගනී
පාකිස්තාන-ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ, සෙනසුරාදා (24) පැවැති තෙවන තරගය ද ලකුණු 108කින් ජයගත් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 50 තරග තුනක තරගාවලිය නිම කළේ තරග 3-0ක් ලෙස ජය ලබාගනිමිනි.
කාසියේ වාසිය දිනා, තෙවන තරගයේ මුලින් පන්දුවට පහර දුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 215ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.3ක දී සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත්තේ ලකුණු 104ක් පමණෙකි.
පාකිස්තානය පන්දුවට පහර දෙද්දී දෙවන විකට්ටුවට නහිඩා ඛාන් සහ ජවෙරියා ඛාන් ලකුණු 63ක් රැස් කරමින් ඉනිමේ හොඳම සබඳතාව වාර්තා කළහ. පාකිස්තාන පිතිකාරියන් අතුරින් කැපී පෙනුණු නහිඩා ඛාන් ලකුණු 46ක් ද (පන්දු 76යි හතරේ 05යි), ජවෙරියා ඛාන් ලකුණු 30ක් ද (පන්දු 45යි හතරේ 04යි), බිස්මා මහ්රූෆ් ලකුණු 26ක් ද (පන්දු 34යි හතරේ 02යි) ලබාගත්හ.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් කැපී පෙනුණු කේ. කාංචනා ලකුණු 35ක ට කඩුලු 02ක් ද, ශෂිකලා සිරිවර්ධන ලකුණු 40ක ට කඩුලු 02ක් ද දවාලූහ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ එම්. ඩී. හංසිකා සහ පී. කුමාරිහාමි මුල් විකට්ටුවට ඕවර 13.1ක දී ලකුණු 49ක් රැස් කළ අතර, එය ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවයි. ලංකා කණ්ඩායමේ ඊළඟ කඩුලු නවයම බිඳ වැටුණේ තව ලකුණු 58ක් පමණක් එක්වද්දීය. ලංකා කණ්ඩායම ලකුණු 49ක් ලබා සිටියදී පන්දු 12ක් තුළ එක් ලකුණක්වත් නොලබා කඩුලු 04ක් ම දැවී යාමෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවිණි. ලකුණු 49දී දැවී ගිය පිතිකාරියන් වූයේ හංසිකා, කුමාරිහාමි, නායිකා චමරි අතපත්තු (00) හා ආර්. වැන්ඩට් (00) ය. එම්.ඩී. හංසිකා ලකුණු 35ක් ද (පන්දු 40යි හතරේ 05යි), පී. කුමාරිහාමි ලකුණු 10ක් ද (පන්දු 41යි), පී. වීරක්කොඩි ලකුණු 15ක් ද (පන්දු 47යි හතරේ 01යි), පිතිකාරිනියන් අතුරින් කැපී පෙනුණි. පාකිස්තාන කණ්ඩායමේ සනාමිර් ලකුණු 27ක ට කඩුලු 04ක් ද, නස්රා සන්ධු ලකුණු 18ක ට කඩුලු 03ක් ද දවාලූහ. කණ්ඩායම් දෙක අතර 20-20 තරග තුනක් මේ මස 28 (එස්.එස්.සී.), 30 (එන්.සී.සී.) සහ 31 (එස්.එස්.සී.) ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
– බන්දුල මොල්ලිගොඩ –