ධනුෂ්ක ගුණතිලකගේ පිති හරඹය එස්.එස්.සී. පිලට ජය ගෙනදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ ප්‍රිමියර් එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශ්‍රී ලංකා ක්‍රීඩක, ධනුෂ්ක ගුණතිලක පන්දු 122ක ට මුහුණ දී හයේ පහර 02ක් හතරේ 13ක් සමඟ ලකුණු 119ක් ලබාගනිමින් තනිවම ගෙනගිය සටනකට පසු, එස්.එස්.සී. පිලට කඩුලු හතරකින් එන්.සී.සී. පිල පරාජය කර, සූරතාව දිනාගැනීමට අවස්ථාව උදාවිණි.
මුලින් පන්දුවට පහර දෙමින් එන්.සී.සී. කණ්ඩායම ඕවර 48.2ක දී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 236ක ඉලක්කය කරා යාමට එස්.එස්.සී. කණ්ඩායම පිටියට පැමිණි අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක හුදෙකලා සටනක නිරතවෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය අතර, සෙසු පිතිකරුවන් සියල්ලෝම පුද්ගලිකව ලබාගත්තේ ලකුණු 30ට අඩු සංඛ්‍යාවන් ය. එහිදී එස්.එස්.සී. පිලෙහි වැඩිම ලකුණු ලාභීන් වූයේ චරිත් අකලංක (ලකුණු 27යි පන්දු 45 හතරේ 03යි), දසුන් ශානක (ලකුණු 26යි පන්දු 53යි හතරේ 01යි) හා තිසර පෙරේරා (ලකුණු 19යි පන්දු 09යි හයේ 01යි හතරේ 02යි) ය.
මෙහිදී එස්.එස්.සී. තෙවන කඩුල්ලට ධනුෂ්ක ගුණතිලක සහ දසුන් ශානක ඕවර 16.5ක දී ලකුණු 88ක් රැස් කරමින් එස්.එස්.සී. කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ආහ. දුෂ්මන්ත චමීර ලකුණු 41ක ට කඩුලු 03ක් ද, එස්.එන්. පීරිස් ලකුණු 42ක ට කඩුලු 02ක් ද දවාලූහ.
මේ තරගයේ කාසියේ වාසිය දිනූ එස්.එස්.සී. කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම එන්.සී.සී. පිලට පැවරීය. ශ්‍රී ලංකා නායක, දිනේෂ් චන්දිමාල් දර්ශනීය පිතිහරඹයක නිරත වෙමින් පන්දු 123ක ට මුහුණ දී හයේ 03ක් හතරේ 05ක් සමඟ ලකුණු 103ක් ලබා එන්.සී.සී. පිල වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළේය. නිරෝෂන් දික්වැල්ල පන්දු 30ක දී හතරේ 05ක් සමඟ ලකුණු 33ක් ද ඒ.කේ. පෙරේරා ලකුණු 21ක් ද රැස් කළහ. කුසල් පෙරේරා හා චන්දිමාල් එක්කළ ලකුණු 52ක සබඳතාව ඉනිමේ හොඳම සබඳතාව විය.
ධම්මික ප්‍රසාද් ලකුණු 42ක ට කඩුලු 03ක් ද, තිසර පෙරේරා ලකුණු 42ක ට කඩුලු 02ක් ද ජෙෆ්රි වැන්ඩසෙ ලකුණු 34ක ට කඩුලු 02ක් ද දවාලූහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක්ම මෙම තරගයට සහභාගි විය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-