ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක්
ශ්‍රී ලංකා – පාකිස්තාන 20-20 කාන්තා දෙවන තරගයෙන් කඩුලු හතක පහසු විශිෂ්ට ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කාන්තා පිල මේ ක්‍රිකට් තරගාවලිය 1-1 ලෙස සමකර ගැනීමටද සමත්විණි. කණ්ඩායම් දෙක අතර තෙවන තරගය සෙනසුරාදා (31) පැවැත්වෙන අතර, මෙහි ජයග්‍රාහිකාවන්ට 20-20 කුසලානය හිමිවේ.
සිකුරාදා (30) පැවැති දෙවන 20-20 තරගයේදී මුලින් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 18.4කදී සියලු පිතිකාරිණියන් දැවී ලබාගත්තේ ලකුණු 72ක් පමණකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 14.2කදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 73ක් ලබාගනිමින් කඩුලු හතක පහසු ජයග්‍රහණයක් ලැබුවේ පන්දු 34ක්ද (5.2යි) ඉතිරිව තිබියදීය.
පාකිස්තානය පන්දුවට පහරදෙන අවස්ථාවේ වරක් කඩුලු එකකට ලකුණු 37ක් ලබාසිටියත් ශෂිකලා සිරිවර්ධනයේ සහ බී. කුමාරිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඉතිරි කඩුලු නවයට දැවී ගියේ තවත් ලකුණු 35ක් පමණක් එක් වද්දීය. සිරිවර්ධන ලකුණු නවයකට කඩුලු හතරක්ද කුමාරි ලකුණු 15කට කඩුලු දෙකක්ද දවාලූහ. බිස්මා මාරූෆ් ලකුණු 20ක්ද (පන්දු 16යි හතරේ එකයි) සිඩ්රා අමීන් ලකුණු 10ක්ද සනාමීර් ලකුණු 13ක්ද ලැබූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එම්. සංජීවනී ලකුණු 20ක්ද (පන්දු 27යි හතරේ 1යි) ආර්. වැන්ඩම් නොදැවී 19ක්ද (පන්දු 29 හතරේ 2යි) නායිකා චමරී අතපත්තු ලකුණු 13ක්ද (පන්දු හයයි හතරේ තුනයි) මෙන්ඩිස් ලකුණු 11ක්ද (පන්දු 15යි) ශෂිකලා සිරිවර්ධන නොදැවී ලකුණු හයක්ද (පන්දු 9යි හතරේ එකයි) රැස්කළහ.
කොළඹ එන්. සී. සී. පිටියේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. කණ්ඩායම් දෙක අතර, තුන්වන හා අවසාන තීරණාත්මක තරගය සෙනසුරාදා (31) එස්. එස්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-