දේශීය පරීක්‍ෂණයකට එක්සත් ජාතීන් කැමති වුණා… දැන් බෝලය අපේ පැත්තේ..
යුද්ධයට අදාළ වගවීම සහ ප්‍රතිසංධානය යන කාරණා එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා තමා මුණ ගැසුණු අවස්ථාවේදී සාකච්ඡා කළ බව විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව තුළ, ශ්‍රී ලංකාවේ නීතියට අනුව ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරුන් විසින් ශ්‍රී ලංකාවේ යුද්ධයට අදාළ කරුණු විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇති කැමැත්ත එම සාකච්ජාවලදී පැහැදිලිවුනු බව ඔහු පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කරන ලද්දේ එම චෝදනා විමර්ශනය කිරීම පිණිස දේශීය විශ්වාසවන්ත යාන්ත්‍රණයක් සකස් කිරීමට කාලය සහ අවකාශය ලබා දීමට බව එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් සිහිපත් කළ බව විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා සඳහන් කළේය.
එම කාලය ප්‍රයෝජනයට ගෙන එම ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් ලබා දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් ඉල්ලා සිටි බව ඔහු ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසට එල්බ සිටි මතයෙන් ඉවත්වන්නේද යන්න, ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන යුද අපරාධ විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණය මත රඳා පවතින බව ඔහු පැවසුවේය.
නමුත් දේශීය යාන්ත්‍රණයක් තුලින් යුද්ධය හා සම්බන්ධ ප්‍රශ්න විසඳා ගැණීම සඳහා වූ අදහස එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇති බව ඉතාම පැහැදිළි බව විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා ප්‍රකාශ කළේය.
“නැවත බෝලය අපේ පැත්තට ඇවිල්ල තියෙනවා. ඉතින් මේ බෝලය හරියට සෙල්ලම් කිරීම අපේ වගකීම,” ඔහු පැවසුවේය.
බරපතළ චෝදනා ඇති කරුණු පිළිබඳව ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ විශ්වාසවන්ත පරීක්ෂණයක් පැවැත්වීමත්, යළිත් එවැනි සිද්ධීන් ඇති නොවීමට වග බලා ගැනීමත්, ඉතිහාසයේ සිදුවූ එම සිද්ධීන් සම්බන්ධයෙන් යම් ආකාරයක සම්මුතියක් ඇති කර ගැනීමේ ක්‍රියාවලියක් ඔවුන් බලාපොරොත්තුවන බව ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර වශයෙන් එසේ ඉල්ලා සිටියද එවැනි ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ අනිවාර්යයෙන් ම සිදු විය යුතු බව පැවසූ විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා රටට ආදරය කරන්නේ නම් ජාතීන් අතර සමගිය බලාපොරොත්තු වන්නේ නම් එවැනි ක්‍රියාදාමයක් අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය.
– BBC