කොළඹ පිල පිට පිටම තෙවැනි ජයත් ලබයි
පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් තරගාවලියේ අද (20 දා) පැවැති කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ කමිල් මිශාරගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භව රැක ගැනීමට සමත්විය.
රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ගාල්ල පිල ලබා දුනන් ලකුණු 283 ක අසීරු ඉලක්කය හඹා ගිය කොළඹ කණ්ඩායම එම ඉලක්කය පන්දු 4 ක් ඉතිරිව සපුරාගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් දැවී ගොස් තිබියදීය.
කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් නැවතත් සාර්ථක වුණු කමිල් මිශාර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 97 ක් ලබා ජයග්‍රහණයේ පෙර ගමන් කරුවා බවට පත්විය. පන්දු 119 කින් සමන්විත වුණු මිශාරගේ ඉනිම සඳහා හතරේ පහර 11 ක් ඇතුළත්ව තිබුණි. තරග 3 කට සහභාගිවී සිටින කමිල් මිශාර මුලු ලකුණු 257 ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේ ශතකයක් සහ අර්ධ ශතකයක්ද වාර්තා කරගනිමිනි.
ඔහුට අනගි සහායක් ලබා දුන් මොහොමඩ් ෂමාස් පන්දු 80 කදී ලකුණු 65 ක් ලබා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 155 කදී ලකුණු 137 ක සාර්ථක ආරම්භයක් ලබා දීමට දායක විය. කොළඹ පිලේ පළමු පිතිකරුවා ලෙසින් ෂමාස් පිටියෙන් ඉවත් වද්දී මිශාර එක්වූ අහන් වික්‍රමසිංහ පන්දු 49 කදී වේගවත් ලකුණු 55 ක් එක් කළේය. හතරේ පහර 6 ක් පමණක් ඇතුළත් වුණු අහන්ගේ ඉනිම හේතුවෙන් පිට පිටම දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 කට වැඩි හෙවත් 76 ක සම්බන්ධතාවක් පැවැත්වීමට මිශාර හැකි විය.
මෙම පරාජයත් සමඟ ගාල්ල කණ්ඩායම මෙම තරගාවලිය යටතේ සහභාගිවූ සියළුම තරග පරාජයට පත්වීම විශේෂත්වයක් බවට පත් වුවත් ප්‍රබල කොළඹ පිලට එරෙහිව ලකුණු 280 ක් ලබා ගැනීම කැපී පෙනුණි. මෙවර තරගාවලිය යටතේ ගාල්ල පිල වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණු මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම වෙනුවෙන් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන, නායක අභිෂේක් කහදූවආරච්චි සහ පවන් රත්නායක අර්ධ ශතක වලින් දායකත්වයක් දැක්වූහ.
මෙහිදී ප්‍රවේගකාරී වූ නවෝද් පරණවිතාන සිය ලකුණු 58 පන්දු 28 කදී සපුරා ගන්නා විටදී සිය ඉනිම හතරේ පහර 13 කින් අලංකාර කරගෙන තිබුණි. එහෙත් තරමක් සංයමයකින් පන්දුවට පහර දුන් පවන් රත්නායක ලකුණු 71 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ. පන්දු 80 කින් සමන්විත වුණු රත්නායකෙගේ ඉනිම සඳහා හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්ව තිබුණි.
මෙම තරගාවලිය යටතේ පළමු අර්ධ ශතකයට හිමිකමී කී නායක අභිෂේක් ලකුණු 64 ක් ලබා ගත් අතර ඒ සඳහා පන්දු 101 කට මුහුණ දුන්නේය. පන්දු යැවීමෙන් කැපී පෙනුණු සොනාල් දිනූෂ යවන ලද පන්දුවාර 10 දී ලකුණු 39 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය.
ලකුණු සාරාංශය – ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 කදී 282/7 යි – (නවෝද් පරණවිතාන 58, අභිෂේක් කහදූවආරච්චිගේ 65, පවන් රත්නායක 71, තෙවින් අමරසිංහ 24, චේතක දෙනුවෙන් 18, සඳුන් මෙන්ඩිස් 26, සොනාල් දිනූෂ 39/4)
කොළඹ කණ්ඩායම පන්දුවාර 49.2 කදී 286/6 යි – (කමිල් මිශාර 97, මොහොමඩ් ෂමාස් 65, අහන් වික්‍රමසිංහ 55, ජොහාන් ද සිල්වා 12, චමිඳු විජේසිංහ 13, තශික නිර්මාල් (නොදැවී) 14, දුලිත් වෙල්ලාලගේ 47/2)