ජනාධිපතිවරණයේදී සජිත්ට එජාප සහාය ලැබුණේ දැයි තිස්ස අත්තනායක ප්‍රශ්න කරයි
එක්සත් ජාතික පක්‍ෂයෙන් අවශ්‍ය සහාය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ලැබුණේ ද යන්න යළිත් විමසා බැලිය යුත්තක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාංශයේ ප්‍රධානියෙකු වන තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
පසුගිය ජනාධිපතිවරණයේ සංවිධාන කටයුතු හා එහි වගකීම් පිළිබඳ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය 20 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් තිස්ස අත්තනායක මහතා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දුන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර සතියකට පසුවයි. එය මේ අයුරින් ප්‍රමාද කිරීම ජයග්‍රහණයට ද විශාල බාධාවක් වූ බවයි තිස්ස අත්තනායක මහතා කියාසිටින්නේ. මෙම ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට භාර දුන් කටයුතු නිසි ආකාරව ඉටු කළේ ද යන්න සිතා බැලිය යුත්තක්. එහිදී වොක්ෂෝල් වීදිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැවරුණු වගකීම් උපරිමයෙන් ඉටු කළ බවයි තිස්ස අත්තනායක මහතා කියාසිටින්නේ.
ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවේ මෙහෙයුම් කළමනාකරු ලෙස පත්කර සිටියේ මලික් සමරවික්‍රම මහතායි. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා කිහිපයකදීම මැතිවරණ මෙහෙයුම් සම්බන්ධ සියලු කටයුතු භාර කළේ මලික් සමරවික්‍රම මහතාට බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. මැතිවරණයේ මුදල් සම්පාදනය සම්බන්ධව මූල්‍ය කමිටුවක් පත්කර තිබූ අතර එය මෙහෙයවූයේ ද මලික් සමරවික්‍රම මහතායි. මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් නිසි ලෙස ලබා ගැනීමට නොහැකි වූ අයුරු ද අද රහසක් නොවේ. ජයග්‍රහණයේදී පියවරුන් බොහෝ පිරිසක් සිටිය ද පරාජය අවජාතකය යන කියමන සිහිපත් කරන තිස්ස අත්තනායක මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීමට වඩා තමන්ගේ වගකීම් කොටස නිසි ලෙස ඉටු කළේ ද යන්න පිළිබඳ සියලු දෙනා කල්පනා කළ යුතු බවයි.
The post ජනාධිපතිවරණයේදී සජිත්ට එජාප සහාය ලැබුණේ දැයි තිස්ස අත්තනායක ප්‍රශ්න කරයි appeared first on ITN News.