ජනපතිගේ නම විකිණීමට පෙළඹී සිටින්නන් නීතිය හමුවට පමුණුවනවා
විවිධ වාසි අපේක්ෂාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම විකිණීමට පෙළඹී සිටින්නන් නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලය අවධාරණය කරනවා.
ඇතැම් වංචනික පුද්ගලයින් හා කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබදතා ඇති බව අගවමින් ජනතාව මුලා කොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවට සාක්ෂි සහිතව තොරතුරු වාර්තා වී තිබෙනවා. විවිධ තනතුරු, පත්වීම් ටෙන්ඩර් ආදිය ලබා දීමට උදව් කළ හැකි බව පවසමින් ඔවුන් ජනතාව මුලා කිරීමට කටයුතු කරන බව හෙළිවී තිබෙනවා. මෙවැනි පුද්ගලයින්ගෙන් ඇතැමෙකු ජනාධිපතිතුමාට බලපෑම් කිරීමේ හැකියාව පවා තමන්ට ඇතැයි ප්‍රකාශ කරන අවස්ථා දැන ගැනීමට ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ. ජනාධිපතිතුමාගේ තිරසාර පිළිවෙත වනුයේ සෑම විටම පිළිගත් ක්‍රමවේදයකට හා පටිපාටියකට අනුව වැඩකිරීමයි. එම පටිපාටියෙන් පරිබාහිරව තනතුරු පත්වීම්, ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීමට ජනාධිපතිතුමා පොළඹවාගැනීම කවරෙකුට හෝ කළ නොහැක්කක්. එබැවින් මෙවැනි වංචනික පුද්ගලයින්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමාගේ නම භාවිතා කරමින් ජනතාවට මුලා කොට වාසි ලබා ගැනීමට තැත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගන්නා බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ.
The post ජනපතිගේ නම විකිණීමට පෙළඹී සිටින්නන් නීතිය හමුවට පමුණුවනවා appeared first on ITN News.