තානාපති සේවිකාවගේ ප්‍රකාශය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා රජය ස්විස් තානාපතිට දන්වයි
කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක බලහත්කාරයෙන් රඳවාගෙන තොරතුරු ලබා ගැනීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානය යොමු කර තිබෙනවා.
එවැන්නක් සිදුව ඇති බවට තොරතුරු පළවීමත් සමඟ ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කිරීමටයි රජය වහාම නියෝග කළේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනවල ප්‍රතිඵල පිළිබඳව ස්විස්ලන්ත තානාපතිවරයා දැනුවත් කිරිමට ද කටයුතු කෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහතා හමුවේයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ඊට එක් වුණා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවයි. ඒ සඳහා මෙතෙක් අවස්ථාව නොලැබීම පරීක්ෂණවලට බාධාවක්ව පවතිනවා. මෙම තැනැත්තිය පැහැර ගැනීමේදී තමාට තුවාල සිදු වූ බවද ප්‍රකාශ කර ඇති බැවින් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා සහ විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නා. සිදු වූයේ යැයි කියන මෙම සිද්ධිය සම්බන්ධ සැබෑ තත්ත්වය නිශ්චය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන ලෙසද ඔවුන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියා.
මේ අතර අදාළ ස්විස් තානාපති කාර්යාල සේවිකාව කටඋත්තරයක් ලබා ගැනීම සදහා පොලීසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සංවිධාන කළ උද්ඝෝෂණයක් කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය අභියසදී පැවැත්වුණා.
මෙම සේවිකාවට යම් බලපෑමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය බවයි උදේඝෝෂණකරුවන් පෙන්වා දුන්නේ. එසේ නැතිවිට ඇය කරන චෝදනාව ඒකපාර්ශ්වික බවත් එය පරීක්ෂණවලට බාධාවක් බවත් උද්ඝෝෂනකරුවන් තවදුරටත් පෙන්වා දුන්නා.
The post තානාපති සේවිකාවගේ ප්‍රකාශය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා රජය ස්විස් තානාපතිට දන්වයි appeared first on ITN News.