
සිංහල, දෙමළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව එක රටක උපන්නා නම්, නිවුන්නු වාගේ එකටම හිතන එකටම ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් දැකීම තම අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිවුන් සංගමය සංවිධාන කළ නිවුන් සංස්කෘතික සංදර්ශනයට ඊයේ පස්වරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
එක් මව්කුස ඉපිද එකට මෙලොව එළිය දැකීමට වාසනාව ලැබූ නිවුන් සහෝදර සහෝදරියන් 25 දෙනෙකු විසින් 1996 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිවුන් සංගමය පිහිටවනු ලැබුවා. අද එම සංගමයේ සාමාජිකයින් ගනන 28,000 ක්. ඊයේ දිනයේ පැවැත්වූ නිවුන් සංස්කෘතික සංදර්ශනයට සාමාජිකයින් 12,492 ක් එක්ව සිටියා. එය ලෝක වාර්තාවක් ද වනවා.
මීට පෙර වැඩිම නිවුන් සහෝදර සහෝදරියන් එක්රැස්වීමක් සිදුව ඇත්තේ ඉන්දියාවේ දී. එම ගනන 8,004 ක්. ස්වාමීන් වහන්සේ, මෙහෙනින් වහන්සේ, පූජක තුමන්, පූජකවරියන්, ආරක්ෂක නිලධාරීන්, වෛද්‍යවරු, හෙද හෙදි යන සියලු සමාජ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිවුන් සහෝදර සහෝදරියන් ඊට එක්ව සිටියා. ඔවුන් ඉදිරිපත් කළ සංස්කෘතිකාංගවලින් උත්සවය වර්ණවත් වුණා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට රජයට හා ශ්‍රී ලංකා ජනතාවට සහාය දැක්වීමට තම සංවිධානය සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ. පාසල් දරුවන් සදහා ආහාර ලබාදීම යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටි අතර තමන් ද එවැනි වැඩපිළිවෙළක් හදුනාගෙන ඇති බවයි සිංගර් මහත්මිය කියාසිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන කිහිපයක නිලධාරීන් මීට එක්වුණා.
The post නිවුන්නු වාගේ එකටම හිතන එකටම ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් දැකීම අපේක්ෂාවයි appeared first on ITN News.