හල්දුම්මුල්ල වෙලන්විට හා අක්කර 100 ගම්මාන වල සංවර්ධන ක‍්‍රියාවලිය ජනපති උපදෙසින් වේගවත් වෙයි
බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතා අවම පහසුකම් පවතින හල්දුම්මුල්ල වෙලන්විට හා අක්කර 100 ගම්මානවලට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ගමන් කිරීමෙන් පසු දැන් එම ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනයක් සිදුවනවා.
ජනාධිපතිතුමා පසුගිය සැප්තැම්බර් 25 වනදා හල්දුම්මුල්ල කුමාරතැන්න ග්‍රාමයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම කෙරෙහි අවධානය යොමු කෙරුණා. ඒ අනුව රාජ්‍ය ආයතන 19 ක් මගින් සංවර්ධන ව්‍යාපෘති 51 ක් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙනවා. මාර්ග කිලෝමීටර 12 ක් සංවර්ධනය කිරීමේ කටයුතු ද ක්‍රියාත්මකයි. මෙම මාර්ග සංවර්ධනය අවසන් වූ වහාම බස් රථයක් ධාවනයට එක් කිරීමට ගමනාගමන මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
විදුලිය සැපයීම සදහා කණු සිටුවීම හා රැහැන් ඇදීම වහාම ආරම්භ කෙරුණා. එය අවසන් වූ පසු ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන ආයතන සන්නිවේදන අවශ්‍යතා සපුරා ලීමට නියමිතයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ජලය සැපයීමට අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තාව සහ ඇස්තමේන්තු සකස් කර අවසන්වයි පවතින්නේ. වෙලන්විට කුමාරතැන්න විද්‍යාලයේ ඉදිකිරීම් ද මේ අනුව සිදුවනවා. වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිදහස් කළ හැකි ඉඩම් පාරම්පරික වගාවන් හි නිරත ගොවීන්ට දීමනා පත්‍ර යටතේ ලබා දීමට නියමිතයි. ජනාධිපතිතුමා මෙම සංචාරයේදී වනඅලි ප්‍රහාරයකින් විනාශයට පත් කුමාරතැන්න සරත් රණතුංග මහතාගේ නිවස ද නිරීක්‍ෂණය කළා. එහිදී යුද හමුදාවට නව නිවසක් ඉදිකිරීම සදහා ජනාධිපතිතුමා උපදෙස් දුන් අතර එම නිවස මේ වන විට ඉදිකර දී තිබෙනවා.
The post හල්දුම්මුල්ල වෙලන්විට හා අක්කර 100 ගම්මාන වල සංවර්ධන ක‍්‍රියාවලිය ජනපති උපදෙසින් වේගවත් වෙයි appeared first on ITN News.