රු6000 මාසික දීමනාවට මුදල් වෙන්කරන්න – අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව රජයෙන් ඉල්ලයි
අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා වන රුපියල් 6,000 මාසික දීමනාව සඳහා අරමුදල් 2021 අයවැයෙන් වෙන් කරන ලෙස අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව රජයෙන් ඉල්ලා සිටියි. එම සංවිධානය පවසන්නේ 2019 වසරේදී අනුමත වූ අයවැය හරහා, දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින, අතුරුදහන්වීමේ සහතිකයක් හිමි අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා, අතුරු සහනයක් ලෙස මසකට රුපියල් 6000 ක දීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කරන ලද බවයි.
2019 වර්ෂයේ ඔක්තෝබර් මස, කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින්, මෙම දීමනාව “අතුරුදහන් වී ඇති නිසා මිය ගොස් ඇති බවට අනුමාන කර ඇත” යන හේතුවෙන් නිකුත් කල මරණ සහතික හිමි පවුලේ ලඟම ඥාතියාට ලබාදීමටද තීරණය කර ඇත.
කෙසේ වෙතත් පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු මෙම අතුරු දීමනාව ගෙවීම අත්හිටුවා ඇත. එතෙක් කලක් අතුරුදන්වීමේ සහතිකය තිබෙන පවුල් 153 කට රු. මිලියන 11 කට ආසන්න මුදලක් ලබා දී තිබේ.
මෙම පවුල් වලින් බොහොමයක ගෘහ මූලිකයන් සහ වැඩිහිටියන් කාන්තාවන් වන අතර රු 6000 කුඩා මුදලක් වුවත් මෙම මුදල පවුල් වල අයවලුන් සිටින දුෂ්කර තත්වයන් ලිහිල් කිරීමට උපකාරී වී ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ 2021 අයවැය සඳහා වන යෝජනා මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට, අතුරු සහන දීමනාව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කිරීමක් කර නොමැති බව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව පවසයි.
මෙම රුපියල් 6000 මාසික අතුරු සහන දීමනාව අතුරුදහන් වූ පවුල් වල සාමාජිකයන්ට ගෙවීම ඉදිරියටත් සිදු කරගෙන යාමට අවශ්‍ය අරමුදල් මෙම අයවැයෙන් වෙන් කරන ලෙස සහ මෙම මාසික අතුරු සහන දීමනාව “අතුරුදහන් වී ඇති නිසා මිය ගොස් ඇති බවට අනුමාන කර ඇත” යන හේතුවෙන් නිකුත් කල මරණ සහතික හිමි පවුල් වලටද ලබාදෙන ලෙස අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව රජයෙන් ඉල්ලා තිබේ.
The post රු6000 මාසික දීමනාවට මුදල් වෙන්කරන්න – අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව රජයෙන් ඉල්ලයි appeared first on Lanka Views | Views of the truth.