දිවයිනේ සියලුම වී අලෙවි මණ්ඩල හරහා වී මිලදී ගැනීම ඇරඹෙයි
යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද ආරම්භ වුණා. රජයේ මැදිහත්වීම යටතේ අද සිට දිවයිනේ සියලුම වී අලෙවි මණ්ඩල හරහා වී මිලදී ගැනීම සිදුකෙරෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.
පළමු අදියර යටතේ රුපියල් මිලියන 2,000 ක පිරිවැයක් දරමින් මෙට්‍රික් ටොන් තිස්දහසක් ගොවීන්ගෙන් මිලදී ගැනීමටයි වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබෙන්නේ.
ජනතාවගෙන් වී මිලදී ගැනීම සදහා සියලු කටයුතු අද ආරම්භ කරන ලෙසත් එහිදී මතුවන ගැටලු අද දිනය තුළම විසඳා ගෙන හෙට සිට කිසිදු අඩුපාඩුවකින් තොරව වී මිලදී ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව වී මිලදී ගැනීම සම්බන්ධ චක්‍රලේඛයක් ඊයේ දිනයේ දී වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කළා. වී අලෙවි මණ්ඩලය යටතේ ප්‍රාදේශීය කාර්යාල 7 ක් තිබෙන අතර ඒ යටතේ වී ගබඩා 310 ක් පවතිනවා.
මේ වනවිට ඇතැම් ජාවාරම්කරුවන් වී කිලෝග්‍රෑම් එකක් රුපියල් සියයකටත් වඩා අවම මිලකට මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. එබැවින් වී අලෙවි මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 125 කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කටත් මිලදී ගැනීමට කටයුතු යොදා තිබෙන්නේ.
වී අලෙවි මණ්ඩලය මගින් අලෙවිකරනු ලබන සහල් කිලෝග්‍රෑම් එකක මිල ඊයේ සිට රුපියල් 5 කින් අඩුකළ බවත් වෙළෙදපොල තත්ත්වය සළකා බලා තවදුරටත් සහල් මිල අඩු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.
මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබාදීමට නියමිත මෙට්‍රික් ටොන් විසිඑක්දහසක යූරියා තොගය රැගත් නෞකාව මෙම සතිය තුළ කොළඹ වරායට ළගාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අදාළ පොහොර තොගය වී, බඩඉරිඟු, තේ සහ අල වගාව සදහා ලබාදීමට නියමිතයි.
The post දිවයිනේ සියලුම වී අලෙවි මණ්ඩල හරහා වී මිලදී ගැනීම ඇරඹෙයි appeared first on ITN News.