ළමා හිංසන වැළැක්වීමට නව නීති කිහිපයක්
දරුවන්ට වන හිංසා වැළැක්වීම සදහා පවතින නීති ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව නීති කිහිපයක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇතිබව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසනවා.
මේ අතර වයස අවුරුදු 10ක දැරියකට කෘර ලෙස පහරදීමේ චෝදනාවකට අදාළව ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
අම්බලන්තොට ලුණම විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන දැරියකට එම පාසලේ ගුරුවරයෙකු පහර දී තිබෙනවා. අදාළ ගුරුවරයා පසුගිය 10 වනදා කෝටුවකින් පහරවල් 15ක් පමණ දැරියට එල්ලකර ඇති බවටයි ඇගේ දෙමාපියන් චෝදනා කරන්නේ. එම ගුරුවරයා මෙම දැරියගේ කොණ්ඩයෙන් අල්ලා නිතර පහර දීම හේතුවෙන් කොණ්ඩය කොටට කැපු බවයි ඇගේ දෙමාපියන් ප්‍රකාශ කළේ.
මේ තත්ත්වය යටතේ අදාළ දැරිය පාසල් යෑම ප්‍රතික්ෂේප කරන බවද දෙමාපියන් පවසනවා. මින් පෙරද අවස්ථා කිහිපයකදීම පාසලේ තවත් දරුවන්ට අදාළ ගුරුවරයා අමානුෂිකව පහර දී ඇති බවත් ඒ සම්බන්ධව විදුහල්පතිනියට පැමිණිලි කළද පලක් නොවු බවත් දෙමාපියන් සදහන් කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනි ප්‍රකාශකර සිටියේ මෙම ගුරුවරයා සම්බන්ධයෙන් තමන්හට කිසිදු දෙමාපියකුගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. මේ සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් සිදුකළ පැමිණිල්ලකට අදාළව පොලිසීය අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අගුණුකොලපලැස්ස අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඔහු ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා. මහේස්ත්‍රාත් R.D.ජානක මහතා මෙහිදි නියෝග කළේ.
පහර කෑමට ලක්වු දැරිවිය මේ වන විට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයව අධිකරණ වෛද්‍යවරයාද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
මේ අතර දරුවන්ට සිදුවන හිංසනයන්ට එරෙහිව සංවිධානය කළ නිහඩ විරෝධතාවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට පැවැත්වුණා. හොරණ මිල්ලණිය ප්‍රදේශයේ පහවසර ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු වද හිංසාවන්ට ලක් කිරීම ඇතුළු ළමා හිංසනයන් පිළිබද පැමිනිල්ලක් ළමා ආරක්ෂක අධිකාරියට භාර දීමට ද නව ජනතා පෙරමුණ මෙහිදි කටයුතු කළා .
මේ අතර මිල්ලණිය සිදුවීමේ දී අදාළ සිසුන් තිදෙනාට පොලිස් ජීෆ් රථය තුළදී පහර දී විදුලි සැර වැද්දවීමට කටයුතු කළේ ද යන්න පිළිබද පරීක්ෂා කිරීමට අදාළ පොලිස් ජීෆ් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසනවා.
The post ළමා හිංසන වැළැක්වීමට නව නීති කිහිපයක් appeared first on ITN News.