ලබන 14 වනදා සුබසාධනය ඉලක්ක කර ගත් අයවැයක් පාර්ලිමේන්තුවට
ලබන 14 වනදා සුබසාධනය ඉලක්ක කර ගත් අයවැයක් පාර්ලිමේන්තුව හමුවට ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මේ අතර ආර්ථික විද්වතුන් පවසන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ මූලික කරගත් අයවැයක් මෙවර ගෙන ආ යුතු බවයි.
මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ සමාරම්භක කතාව ලබන සදුදා පස්වරු එකයි තිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය දෙවන වර කියැවීම නොවැම්බර් 15 වනදා ආරම්භ වනවා. දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 22 වනදා පස්වරු පහට සිදු කිරීමට නියමිතයි. අයවැය තුන්වන වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 8 වනදායි.
මෙවර අයවැයේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885ක් වනවා. එය පසුගිය වසර සදහා ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 6100ට වඩා රුපියල් බිලියන 1785ක වැඩිවීමක්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 29.2ක් වනවා.
මෙවර අයවැයේ වැඩිම වැය ශීර්ෂය වෙන් කර ඇත්තේ සමාජ ආරක්ෂණය සදහායි. එම මුදල රුපියල් බිලියන 572ක්. පවුල් ලක්ෂ 68න් ලක්ෂ 40ක් ජීවත්වීම සදහා රජයෙන් ආධාර ඉල්ලා සිටින පසුබිමකයි මෙම මුදල ඇස්තමේන්තු කර තිබෙන්නේ. සෞඛ්‍ය සදහා රුපියල් බිලියන 432ක්, අධ්‍යාපනය සදහා රුපියල් බිලියන 504ක්, ආරක්ෂක වියදම ලෙස රුපියල් බිලියන 367ක් අයවැයෙන් ඇස්තමේන්තු කර තිබෙනවා.
The post ලබන 14 වනදා සුබසාධනය ඉලක්ක කර ගත් අයවැයක් පාර්ලිමේන්තුවට appeared first on ITN News.