ශ්රී ලංකා ‘ඒ’ පිල සැනසිලිදායක ඉසව්වකට
පළමු ඉනිමේ වූ අතපසු සියල්ල මකා ගනිමින් පන්දුවට පහර දීමට උනන්දුවීම නිසා ලකුණු 331 ක තරම් විශාල වූ මුල් ඉනිමේ අවාසිය හෙවත් ඉනිමකින් පරාජයෙන් බේරීමේ අවමානයෙන් පහසුවෙන්ම මඟහරවා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ඉදිරි පෙළ පිතිකරුවෝ සමත්වූහ. මේ සදහා ඕෂධ ප්‍රනාන්දු (114) සහ නිශාන් මදුශ්ක (නොදැවී 128) විශිෂ්ඨ සම්බන්ධතාවත්, සැඳෑ මුරකරු ලෙසින් පිවිසි ලක්ෂිත මානසිංහ ලබා දුන් දායකත්වයේ වටිනාකම කියා නිම කළ නොහැක.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (02 දා) දිවා ආහාරය සඳහා තරගය නිමා කර දමන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 කට ලකුණු 331 ක් ලබා මුල් ඉනිමේ අවාසිය මඟහරවා ගැනීමට සමත්ව සිටියහ. ඒ අනුව දිවා ආහාරයෙන් පසුව රැස් කර ගනු ලබන සෑම ලකුණක්ම ශ්‍රී ලංකා ‘ඒ’ පිලට වැදගත් වනු ඇත.
මෙහි වැදගත්ම කරුණ වන්නේ ගාල්ල තනතීරුව තවමත් පිතිකරුවන්ට යෝග්‍ය වන අයුරින් පැවැතීමයි. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ හැකි තාක් කඩුල්ලේ රැදී සිටිමින් පන්දුවට පහර දීම, ප්‍රතිවාදීන්ව අභියෝගයට පත් කිරීමට හිමි එකම මාවත වේ. ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තවත් කඩුලු 8 ක්ම ඉතිරිව තිබෙන අතර ඒ අතර ශතක ලාභී නිශාන් මදුශ්කද පසුවේ.
මෙම තරගාවලියේදී මදුෂ්ක විසින් වාර්තා කරන ලද දෙවැනි ශතකය ලෙසින්ද මෙම ලකුණු 128 ක ඉනිම සදහන් කළ හැක. පන්දු 223 ක් ඒ සදහා වැය කළ මදුශ්ක මෙම තරගයට පෙර පැවැති තුන්දින පුහුණු තරගයේදීද ලකුණු 150 ක් රැස් කරගත්තේය. එය රැස් කරගත්තා පමණක් නොව ඔහුගේ කඩුල්ල දවා ගැනීමට එංගලන්ත ලයන්ස් එකම පන්දු යවන්නකු හෝ සමත් නොවූ නමුත්, ඔහු ඉනිම අතර මඟ නවතා ක්‍රීඩා ගාරය වෙත ගියේ සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව සලසා දෙමිනි.
තේරීම් කමිටුවේ බලාපොරොත්තුව අකුරටම ඉටු කළ මදුෂ්ක, ලයන්ස් පන්දු යවන්නන් හමුවේ හිස නමා පන්දුවට පහර දීම කැපී පෙනුණි. මුහුණ දුන් පළමු පන්දුවේ සිට දිවා විවේකය දක්වා මුහුණ දුන් අවසන් පන්දුවේදීත් කිසිදු වෙනසක් නොමැතිව පන්දුවට ගරු කළ පහර දුන් දකුණත් පිතිකරුවා තම ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහරක් ඇතුළත් කර ගත්තේය. දර්ශනීය කවර් ඩ්‍රයිව් පහර, පුල් පහර මෙන්ම කට් පහර වලින් ගාල්ල ක්‍රීඩාංගණය වටා මදුෂ්ක පහර එල්ල කරද්දී සැඳෑ මුරකරුගේ වගකීම ගෙන පිටියට පිවිසි ලක්ෂිත මානසිංහද පරිණත පිතිකරුවකුගේ විලාශය පෙන්නුම් කරමින් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. දුර්වල පන්දු දුටු තැන අත දිග හැර පහර දුන් වමත් පිතිකරුවා ටොම් අබෙල්ගේ පන්දුවකට ලකුණු 73 ක් ලබා දැවී යන විටත් ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් කර ගැනීමට සමත්ව සිටියේය. මොවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 119 ක් විය.



The post ශ්‍රී ලංකා ‘ඒ’ පිල සැනසිලිදායක ඉසව්වකට appeared first on Sri Lanka Cricket.