ශ්රී ලංකා ‘ඒ’ ලකුණු 118 කින් පෙරමුණට
Chamila Karawita reporting from Galle
පළමු ඉලක්කය බවට පත්ව තිබූ ඉනිමකින් පරාජය වීමේ අවධානමෙන් ගැලවුණු ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ තේ පානය සදහා තරගය නතර කර දමනා විට ලකුණු 118 කින් එංගලන්ත ලයන්ස් පිලට වඩා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියහ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ තෙවැනි දින තේ පානය සඳහා ක්‍රීඩාව නතර කර දමන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 3 කට ලකුණු 449 ක් ලෙසිනි.
මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව ගොඩ නැංවීමේ මූලිකත්වය ගෙන පන්දුවට පහර දුන් නිශාන් මදුශ්ක දෙවැනි වතාවටත් ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ලකුණු 150 සීමාව පසු කර දැමුවේ තේ පානයෙන් පසුවත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර ගනිමිනි. පැය හතකට වඩා කාලයක් (මිනිත්තු 441) කඩුල්ලේ රැඳී සිටි මදුශ්ක තේ පානය සඳහා තරගය නතර කර දමන විට පන්දු 293 කට මුහුණ දෙමින් ලකුණ 152 ක් රැස් කරගෙන සිටියේය.
මදුශ්ක මෙම ඉනිමට පෙර ලයන්ස් කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගයේදීත් නොදැවී ලකුණු 150 ක් රැස් කරගත්තේය. කිසිදු පන්දු යවන්නකුට සිය ඉනිම බිඳ දැමීමට අවස්ථාව ලබා නොදුන් දකුණත් පිතිකරුවා සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර දෙමින් ඉනිම හමාර කොට පිටියෙන් ඉවත්ව ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 118 කින් පෙරමුණ ගෙන සිටින්නේ තවත් කඩුලු 7 ක් අත දරාගෙනය. එහිදී මදුශ්ක සමඟින් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටින නායක නිපුන් ධනංජය ලකුනු 14 ක් ලබා සිටියේය.
දීවා ආහාරයෙන් පසු තේ පානය දක්වා කාලයේදී යවන ලද පන්දුවාර 28 දී රැස් කරන ලද ලකුණු 118 න් ලකුණු 76 ක්ම නුවනිඳු ප්‍රනාන්දු විසින් රැස් කරන ලද ලකුණු විය. ලියාම් පැටර්සන් විසින් යවන ලද 87 වැනි පන්දුවාරයේ පළමු පන්දු 4 ට හතරේ පහර 3 කින් සංග්‍රහ කළ නුවනිඳු සිව්වැනි පන්දුවට එල්ල කරන ලද හයේ පහරත් සමඟ ලකුණු 19 ක් උදුරා ගත්තේ අර්ධ ශතකයට යන ගමන වඩාත් ඉක්මන් කරමිනි. මුහුණ දුන් 63 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත් නුවනිඳු ලකුනු 80 ක් ලබා දැවී යන විට මදුශ්ක සමඟ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 113 ක් එක් කිරීමට සමත්වූවේය.
පළමු ඉනිමේ වූ අතපසු සියල්ල මකා ගනිමින් පන්දුවට පහර දීමට උනන්දුවීම නිසා ලකුණු 331 ක තරම් විශාල වූ මුල් ඉනිමේ අවාසිය හෙවත් ඉනිමකින් පරාජයෙන් බේරීමේ අවමානයෙන් පහසුවෙන්ම මඟහරවා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ඉදිරි පෙළ පිතිකරුවෝ සමත්වූහ. මේ සදහා ඕෂධ ප්‍රනාන්දු (114) සහ නිශාන් මදුශ්ක (නොදැවී 128) විශිෂ්ඨ සම්බන්ධතාවත්, සැඳෑ මුරකරු ලෙසින් පිවිසි ලක්ෂිත මානසිංහ ලබා දුන් දායකත්වයේ වටිනාකම කියා නිම කළ නොහැක.
තේරීම් කමිටුවේ බලාපොරොත්තුව අකුරටම ඉටු කළ මදුෂ්ක, ලයන්ස් පන්දු යවන්නන් හමුවේ හිස නමා පන්දුවට පහර දීම කැපී පෙනුණි. මුහුණ දුන් පළමු පන්දුවේ සිට දිවා විවේකය දක්වා මුහුණ දුන් අවසන් පන්දුවේදීත් කිසිදු වෙනසක් නොමැතිව පන්දුවට ගරු කළ පහර දුන් දකුණත් පිතිකරුවා තම ඉනිමට හතරේ පහර 19 ක් සහ හයේ පහරක් ඇතුළත් කර තිබුණි. පන්දු යවන්නන්ගේ ප්‍රධාන හිසරදය බවට පත්ව සිටි මදුශ්ක දර්ශනීය කවර් ඩ්‍රයිව් පහර, පුල් පහර මෙන්ම කට් පහර අග්‍රගන්‍යයේ විය. සැඳෑ මුරකරුගේ වගකීම ගෙන පිටියට පිවිසි ලක්ෂිත මානසිංහද පරිණත පිතිකරුවකුගේ විලාශය පෙන්නුම් කරමින් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. දුර්වල පන්දු දුටු තැන අත දිග හැර පහර දුන් වමත් පිතිකරුවා ටොම් අබෙල්ගේ පන්දුවකට ලකුණු 73 ක් ලබා දැවී යන විටත් ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් කර ගැනීමට සමත්ව සිටියේය. මොවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 119 ක් විය.



The post <strong>ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 118 කින් පෙරමුණට</strong> appeared first on Sri Lanka Cricket.