සියලු අභියෝගයන් හමුවේ මිතුරු රටවල් අප සමඟ සිටියා – සෞඛ්ය ඇමති
ශ්‍රී ලංකාව මුහුණ දුන් සියලු අභියෝගයන් හා අසීරුතාවන් හමුවේ මිත්‍ර රටවල් ශ්‍රී ලංකාව සමග සිටි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
විශේෂයෙන් කොවිඩ් ව්‍යසනයේදී මෙන්ම අනෙකුත් අභියෝගයන්හිදී ජපානය ශ්‍රී ලංකාව සමඟ දැඩි මිත්‍රශීලීත්වයකින් කටයුතු කළ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ලෝක ජනගහන අරමුදල හා ජපන් රජය එක්ව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (08) ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙරට ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ක්ෂේත්‍රයේදී කාන්තාවන් හට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ මෙන්ම උපකරණ තොගයක් මෙහි දී ලබා දුන් අතර ඒ සඳහා ලෝක ජනගහන අරමුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 03 ක් හා ජපන් රජය ඇමරිකානු ඩොලර් 72,000 ක් වැය කර තිබේ. මෙම පරිත්‍යාගයන් අතර මේ වන විට මෙරට හිඟව පවතින සහ දැනට හිඟ වෙමින් තිබෙන ඖෂධ වර්ගද වේ. ඔක්සීටෝසීන්, මිසප්‍රොස්ටෝල්,ඩිපෝ එන්නත් හා ලිංගික සෞඛ්‍ය සඳහා වන ඖෂධ හා උපකරණ මෙහි වේ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,
පසුගිය කාලය තුළ අත්‍යවශ්‍ය ඖෂධ විශාල වශයෙන් විවිධ රටවලින් සහ ජාත්‍යන්තර සංවිධාන මගින් මෙරටට හිමි වූ බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැනි ආයතන ඒවා සම්බන්ධීකරණය කිරීමේ කටයුතු නිසිලෙස කළ බවත් පැවසීය. ජපානය විසින් ජයවර්ධනපුර මහ රෝහල වැනි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල පරිත්‍යාගයන් රැසක් ලබාදුන් බවද සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය. අතීතයේ සිට අද දක්වා ශ්‍රී ලංකාව අත් නොහළ සැබෑ මිතුරෙකු වන ජපානය, කොවිඩ් තත්ත්වයේ ආරම්භක සමයේ එන්නත්කරණයේ පළමු අවස්ථාව සඳහා එන්නත් මිලියන 1.5 ක් ලබාදුන් බවද එහිදී සිහිපත් කළේය.
මෙහිදී අදහස් දැක්වූ මෙරට ජපන් තානාපති, මිසුකොෂි හිදෙයාකි මහතා,
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය නගා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 08 ක් සහ උපකරණ තොගයක් මෙම පරිත්‍යාග අතර පවතින බව පැවසීය. ජපානය, ශ්‍රී ලංකාවට විවිධ ක්ෂේත්‍ර සඳහා අඛණ්ඩව ආධාර සපයා ඇතැයිද මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය සඳහා ලබාදී ඇති MRI යන්ත්‍රය හා CT ස්කෑන් යන්ත්‍රය මෙන්ම තවත් වෛද්‍ය උපකරණ එම සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකීය ජනතාවට වඩාත් වැදගත් වනු ඇතැයිද ජපන් තානාපතිවරයා කීය.
The post සියලු අභියෝගයන් හමුවේ මිතුරු රටවල් අප සමඟ සිටියා – සෞඛ්ය ඇමති appeared first on ITN News.