22 ට එරෙහි පෙත්සම් විභාගය අවසන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කෙරුණා. එහි තීරණය කථානායකවරයාට යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ.
22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාගයට ගැනුණා. දෙවන දිනටත් අද පැවැති පෙත්සම් විභාගය ආරම්භයේ දී නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන් ඇතැම් සංශෝධන හේතුවෙන් ජනතාව සතු පරමාධිපත්‍ය බලය පුළුල් වී ඇති බවයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු යැයි ව්‍යවස්ථාව තුළ අන්තර්ගත ප්‍රතිපාදනය එවැන්නක් බව ද නීතිපතිවරයා පෙන්වා දුන්නා. මෙවැනි සංශෝධන හරහා ජනාධිපතිවරයා සතු විධායක බලතල කප්පාදුවීමක් සිදු නොවන අතර එය තුලනාත්මක තත්වයකට පත් කිරීමට හේතුවන බව ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියා. එබැවින් මෙමගින් ජනතා පරමාධිපත්‍ය උල්ලංගණය වීමක් සිදු නොවන බවයි ඔහු අවදාරනය කළේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කෙරුණු අතර නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට දින ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කෙරුණා. 22 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව දහයක් පෙත්සම් ගොනු කර තිබූ අතර පෙත්සම් විභාගයේ තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.
The post 22 ට එරෙහි පෙත්සම් විභාගය අවසන් appeared first on ITN News.