ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹේ
පාපන්දු උන්මාදය ඉහළ නංවමින් ලොව වැඩිම පිරිසක් නරඹන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා.
තරගාවලියේ සමාරම්භක තරගය, සත්කාරක කටාර් රාජ්‍යය සහ ඉක්වදෝරය අතර පැවැත්වීමට නියමිතයි.
22 වන වරට පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය හෙවත් 2022 ෆිෆා තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 32 මූලික වටයේදී කාණ්ඩ 8ක් යටතේ තරග වැදීමට නියමිතයි.
ලොව මෙතෙක් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩකයින් වන ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසන් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මෙය වීම විශේෂත්වයක්. ඔවුන් දෙදෙනාම 2006 වසරේ සිට මේ දක්වා පැවති පාපන්දු ලෝක කුසලාන 4ක් ක්‍රීඩා කර තිබෙනවා. මැද පෙරදිග කලාපීය රටකදී පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මෙයයි.
මේ අතර මෙවර පාපන්දු ලෝක කුසලානයට අදාළ තරග ක්‍රීඩාංගණ 8 කදී පැවැත්වෙනවා.
ඒ අතරින් ස්ටේඩියම් නයින්සෙවන්ෆෝ (974) ක්‍රීඩාංගණය පිළිබඳව මේ වන විට බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. ඒ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කන්ටේනර් 974ක් යොදා ගනිමින් ක්‍රීඩාංගණය නිර්මාණය කර තිබීමයි. මෙම ක්‍රීඩාංගණය ප්‍රවාහනය කළ හැකි ලොව ප්‍රථම පාපන්දු ක්‍රීඩාංගණය වීම ද විශේෂත්වයක්.
මේ අතර පාපන්දු ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වයක් සඳහා මෙතෙක් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මෙවර ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යයයි. එය අමෙරිකානු ඩොලර් බිලියන 220කි.
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහකයින්ට හිමිවන ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 42කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,524කට අධිකයි.
එය ඉතිහාසයේ මෙතෙක් පාපන්දු ලෝක කුසලානයක ශූරයින්ට පිරිනැමෙන වැඩිම මුදල් ත්‍යාගය ද වනවා. මීට අමතරව තරගාවලිය නැරඹීමට එන ප්‍රේක්ෂකයින්ට හෝටල් පහසුකම් ලබා දීම සඳහා අධි සුඛෝපභෝගී නෞකා 3ක් සූදානම් කර තිබෙනවා.
මේ අතර මෙවර ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළදී මත්පැන් පානය කිරීම ඊයේ තහනම් කෙරුණා. මෙවර පාපන්දු ලෝක කුසලානය දින 28ක් පුරා පැවැත්වෙනවා.
The post ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹේ appeared first on ITN News.