පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන්න – මෛත්රී ඇතුළු පිරිසකට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කරයි
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පස් දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයයි මෙලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ සෙසු අය වන්නේ.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 10 ක්ද සිය පුද්ගලික මුදල් වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
ඊට අමතරව රජයේ විසින් රුපියල් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටද එම නඩු තීන්දුවේ සඳහන් වුණා. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් 12 ක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙනිය ,මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මියගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ , සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු ද, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක , ඇතුළු පිරිසක් ද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දොළහ ගොනු කර තිබුණා.
The post පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන්න – මෛත්රී ඇතුළු පිරිසකට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කරයි appeared first on ITN News.