රාජ්ය පාලකයන් තේරීමේ බෞද්ධ නිර්නායක

- colombotelegraph.com

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

ජනතාවගේ හිතසුවය හා යහපත ප්‍රධාන තේමාව කරගත් බුදුදහම ඊට සාධක වන හා බාධක වන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට විශේෂ අවධානයක් යොමු කොට තිබේ. බුදුදහමට අනුව ජනතාවගේ යහපත හා හිතසුවය අංශ දෙකකින් ක්‍රියාත්මක වියයුතුය. ඒ භෞතික අංශයෙන් හා ආධ්‍යාත්මික අංශයෙනි. බුදුදහමෙහි ආවසානික අපෙක්ෂාව වන්නේ ආධ්‍යාත්මික සුවසෙතයි. එහෙත් භෞතික වශයෙන් දුකින් පෙළෙන ජනතාවකට ආධාත්මික ශාන්තිය ලඟා කරගතහැකි නොවේ. බුදුන් වහන්සේ විසින් තම පළමු දේශණයෙන්ම ශරීරයට දුක්දීමේ පිළවෙත විමුක්තිගාමී මාර්ගයෙන් ඉවත් කොට ඇත්තේ එබැවිනි. භෞතික සුවපත් බව ආධ්‍යාත්මික ශාන්තියට සාධකයක් වන බවට හොඳම නිදර්ශනය වන්නේ බෞද්ධ විමුක්තිමාර්ගයට සම්මා ආජීවය ඇතුළත් වී තිබීමයි.

භෞතික සුබසෙතට අදාළ වන සමාජ අවශ්‍යතා සපුරා ගැනීම ජනතාවගේ පෞද්ගලික හෝ සාමූහික ප්‍රයත්නයකින් පමණක් කළ නොහැක්කකි. ජනතාව විසින් ම බලය පවරා පාලන අධිකාරියක් හෙවත් රජයක් පත් කරගෙන ඇත්තේ එම සමාජ අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනීමේ අරමුණ ඇතිවය. පාලන අධිකාරිය ක්‍රියාත්මක කරන්නන් තම වගකීම් ඉටුකරන ආකාරය මත ජනතාවගේ භෞතික සුබසෙත රඳා පවතියි. රාජ්‍යපාලකයා හෝ පාලකයින් තම වගකීම් නිසි අයුරින් වටහා ගෙන ක්‍රියා කරන්නේ නම් ජනතාවගේ සමාජ සුභසිද්ධිය පහසුවෙන් ලඟා කරගැනීම දුෂ්කර නොවේ.

පාලන අධිකාරිය මගින් සමාජ අවශ්‍යතා නිසියාකාරව ඉටු වීමට අදාළව පාලකයා හෝ පාලකයින් සතුවිය යුතු සුදුසුකම් කිහිපයක් බුදුදහමින් අවධාරණය වෙයි. ඒවා අතුරෙන් වඩාත්ම ප්‍රබල සුදුසුකම වන්නේ පාලකයා ධාර්මිකයකු වීමයි. එබැවින් ම බෞද්ධ ජනතාව රාජ්‍යපාලකයකුගෙන් බලාපොරොත්තු වන මූලිකම අපෙක්ෂාව වන්නේ ද මෙම ධාර්මිකත්වයයි. රජතුමා ධාර්මිකයෙක් වේවා (රාජා භවතු ධම්මිකො) යන පැතුමෙන් එය පැහැදිළි වෙයි. ධාර්මිකත්වය තුළින් ජනතා අවශ්‍යතා ඉටුවේය යන හැඟීම ඔවුන් තුළ පවතියි.

රජු පිළිබඳ බෞද්ධ නිර්වචනය සැකසෙන්නේ ද ධාර්මිකත්වයට මුල්තැන දීමෙනි. බෞද්ධ සාහිත්‍යයෙහි රජු නිර්වචනය වී ඇත්තේ ”දැහැමින් ජනතාව සතුටු කරවන්නා රජුය” (ධම්මෙන පරෙ රංජෙතීති රාජා) යනුවෙනි. ජනතාව සතුටට පත් වන්නේ රාජ්‍යපාලකයාගෙන් ජනතා අපේක්ෂා ඉටු වන්නේ නම් පමණි. රාජ්‍යපාලකයාට ජනතා අපේක්ෂා ඉටු කළ හැකිවන්නේ ඔහු ධර්මානුකූලව ක්‍රියා කරන්නේ නම් පමණි. මේ අනුව සළකන විට රාජ්‍යපාලනයේදී ධර්මයට පැවරෙන්නේ බෙහෙවින් ම වැදගත් කාර්යභාරයකි.

බුදුදහමෙහි රාජ්‍යපාලනය සම්බන්ධයෙන් ධර්මය කෙතරම් අවධාරණය වී තිබේද යන්න සක්විති රජු හඳුන්වා ඇති ආකාරයෙන් තහවුරු වෙයි. ධාර්මික වූ ධර්මරාජ කෙනකු ලෙස සැළකෙන සක්විති රජ ධර්මය ඇසුරු කොට ධර්මයට ගරුබුහුමන් සැළකිලි සත්කාර ඇතිව ධර්මය ධජය කොටගත්, ධර්මයේ ආධිපත්‍යය හෙවත් අධිකාරිය යටතේ වෙසෙන්නෙකි. හෙතෙම ජනතාවට ධාර්මික වූ රක්ෂාවරණය හා පෝෂණය සලසාලයි. එසේම හෙතෙම රටෙහි කිසිදු තැනක ධර්මයට විරුද්ධ කිසිවක් සිදුවීමට ඉඩ නොතබයි. ධර්මරාජ ලෙසින් හැඳින්වුව ද ඔහුද රජකු යටතේ වෙසෙන්නෙකි. ඒ අන් කිසිවකු නොව ධර්මය මයි.

රජුගේ හෝ රාජ්‍යපාලකයගේ වැදගත්ම හා ප්‍රධානතම සුදුසුකම වන ධාර්මිකත්වය යනු කුමක්දැයි වටහා ගැනීම මෙහිදී අවශ්‍ය වෙයි. ධාර්මිකත්වය යනු ධර්මයට අනුගතව ක්‍රියාත්මක වීමයි. දේශපාලනික කටයුතුවලදී ධර්මය බලගැන්වීමේ හැකියාවෙන් යුක්තවීම දේශපාලකයකු සතු ධාර්මික බවයි. මෙම ධාර්මිකත්වය ඇති රාජ්‍යපාලකයා ධර්මයේ ප්‍රතිමූර්තියක් බවට පත් වෙයි. ඔහුගේ පාලනය තුළ කිසිදු තැනක අධර්මතාවක් සිදු වීමට ඉඩ නොතැබෙයි.

ධාර්මිකත්වය පිළිබඳව නිසි වැටහීමක් නැති බොහෝ පාලකයන් ඒවා වැරදි ලෙස වටහාගෙන ජනතාව අපේක්ෂා කරන ධාර්මික බව ව්‍යාජ ලෙස තම ජීවිත තුළින් නිරූපනය කර දැක්වීමට උත්සාහ ගන්නා බවක් ද දක්නට ලැබේ. මෙම ව්‍යාජ ධාර්මිකත්වය එසේ නිරූපනය කරන්නේ ජනතාව මුළා කොට බලයට පැමිණීමේ අදහසින් හෝ බලය තහවුරු කරගැනීමේ වංචනික අදහසිනි. ජනතාව ද ධාර්මිකත්වය වරදවාගෙන ඇති නිසා දේශපාලකයන්ගේ මේ රඟපෑම්වලට රැවටී එබඳු දේශපාලකයන්ම බලයට ගෙනෙති. බලයෙහි තහවුරු කරති.

ධාර්මිකත්වය යනු පුදපූජා පැවැත්වීම නොවේ. නිතර නිතර පළතුරු වට්ටි හා අටපිරිකර රැගෙන භික්ෂූන් හමුවීම ද නොවේ. සුදු පිරිවට හැඳ සිය ගණන් පිරිස පිරිවරා රූපවාහිනී ධර්මදේශනයන්ට සහභාගී වන බව විකාශනය කොට දැක්වීම ද නොවේ. ධාතුකරඬු හිසමත තබා ගැනීම හෝ කඹ වැනි පිරිත් නූල්වලින් අත සරසා ගැනීම ද නොවේ. දේවාලය වලට ගොස් දෙවියන් උදෙසා බරට බරක් වස්තුව පිදෙන තුලාභාර පුදදීම ධාර්මිකත්වය නිරූපනය කිරීමකැයි අදහන පිරිස් ද ඇත. මේවා සියල්ල ජනතාව රවටා ඡන්ද ගරා ගැනීම සඳහා වර්තමාන ඇතැම් දේශපාලකයන් විසින් කෙරෙන ආගමික්ත්වය වෛශ්‍යා වෘත්තියෙහි යෙදවීම් හැර ධාර්මිකත්වය හුවා දැක්වීම් නොවේ.

ලංකාවෙහි දශක ගණනාවක් තුළ පාලකයන් පාලන බලයට පත් වූයේ ධාර්මිකත්වයට ජනතාව දක්වන උනන්දුව අවභාවිතා කරලමිනි. ජනතාව ද ධාර්මිකත්වය යනු කිමෙක්දැයි හරි වැටහීමකින් නොසිටීම දේශපාලකයන්ට එසේ කිරීමට අනුබලයක් විය.

දේශපාලකයන්ගෙන් අපේක්ෂා කළයුතු නියම ධාර්මිකත්වය කිමෙක්ද? ධාර්මිකත්වය යනු ධර්මයට අනුගත වීම නම් ඒ කියන ධර්මය කිමෙක්ද යන්න මෙහිදී අප පළමුව හැඳින ගත යුතුය. ධර්මය යනු නොයෙක් අරුත් දනවන පදයකි. බුදුන් වදාළ ත්‍රිපිටකාගත ධර්මය ද ධර්මය යනුවෙන් කියවෙයි. එබැවින් එය බුද්ධධර්මයයැයි කියමු. වෙනත් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් පද්ධතීන් ද ධර්ම යටතට ම ගැනෙයි. ආචාරධර්ම සමාජධර්ම වශයෙන් ද ධර්ම කොට්ඨාශ පවතියි. ස්වභාවධර්මය ද ධර්මයකි. එමෙන් ම යුක්තිධර්මය හෙවත් සාධාරණත්වය ද ධර්මයකි. යුක්තිය පසිඳලන තැන

ධර්මාධිතරණය යනුවෙන් හැඳින්වෙන බව අපි දනිමු. යුක්තිය පසිඳලන විනිශ්චය කරුවා ධර්මාධ්‍යක්ෂ ලෙසින් හැඳින්වෙයි. රජුන් හෝ පාලකයන් රාජ්‍යපාලනයෙහිලා අනුගමනය කළයුතු ධර්මය වනුයේ කිසියම් ආගමික ධර්මයක් නොවේ. රජු පිළිබඳ නිර්වචනයට අනුව රජු අනුගමනය කළයුතු ධර්මය ජනතාව සතුටට පත් කරවිය හැක්කක් වියයුතුය. පාලනය මගින් ජනතාවගේ සතුටට හේතු වන සේ ක්‍රියාකළ හැකි වඩාත්ම සාර්ථකම ධර්මය වන්නේ සාධාරණත්වය හෙවත් යුක්ති ධර්මය බවට සැකයක් නැත. මානවවර්ගයාගේ යහපැවැත්ම හා සුබසිද්ධිය මුළුමනින් ම පාහේ රඳා පවතින්නේ යුක්ති ධර්මය මතය. අයුක්තිය රජයන විටක මානව සුබසිද්ධිය හුදු ප්‍රලාපයක් බවට පත්වෙයි. දරිද්‍රතාව, අසාක්ෂරතාව, අහයපත් සෞඛ්‍යය, අනාරක්ෂිතතාව, නීතියේ ආධිපත්‍යය ගිලිහීයාම, විරැකියාව හා ජාතික සම්පත් අසමාන ලෙස බෙදීයාම වැනි සමාජ ප්‍රස්නවලට මූලික හේතුව වන්නේ රාජ්‍යපාලනයේදී යුක්තිය මග හැර අයුක්තිය ක්‍රියාත්මක වීමයි.

ප්‍රධාන වශයෙන් ම සමාජයක් තුළ අයුක්තිය ක්‍රියාමක වන්නේ රාජ්‍යපාලකයන් අගතිගාමීව හෙවත් පක්ෂපාතීව ක්‍රියා කිරීම නිසාය. සිගාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන අන්දමට පක්ෂපාතීව ක්‍රියා කිරීම ධර්මයෙන් ඉවත් වීමක් වන අතර අපක්ෂපාතීවීම ධර්මයෙහි පිහිටීමකි. මේ අනුව රාජ්‍යපාලකයකුගේ ධාර්මීකත්වය යනු රාජ්‍යපාලනයේදී අපක්ෂපාතීව ක්‍රියාකිරීම තුළින් ඉස්මතු වන යුක්ති ධර්මයට ප්‍රමුඛත්වය දීමයි. මේ හැර පාලකයා සදාචාරාත්මක වීමද ධාර්මිකත්වයේම අංගයකි. සදාචාර විරෝධීව ක්‍රියා කරන්නකුට යුක්තිධර්මයෙහි පිහිටිය නොහැක.

රජතුමා ධාර්මිකයෙකු වේවා (රාජා භවතු ධම්මිකො) යන පැතුමෙන් ජනතාව අපේක්ෂා කරන්නේ රාජ්‍යපාලකයා යුක්තිගරුක හා සදාචාරාත්මක වූවෙක් වේවා යන්නය. එබැවින් රාජ්‍යපාලකයන් තෝරා ගැනීමෙහි හා උපයෝගී කළයුතු ප්‍රධානතම නිර්ණායකය වන්නේ යුක්ති ධර්යයි හෙවත් සාධාරණත්වයයි. තමන්ගේ පාලනය සඳහා තමන් විසින් තෝරා ගනු ලබන්නේ යුක්තිගරුකව අපක්ෂපාතිත්වයෙන් ක්‍රියා කරන සදාචාරාත්මක පුද්ගලයකුදැයි විමසා බැලීමට ජනතාව උනන්දු වියයුතුව තිබේ. සදාචාර විරෝධීව ක්‍රියා කරන පාලකයන් නිසා රටේ සමස්ත ප්‍රජාවම පරිහාණියට පත් වන ආකාරය බුදුදහමෙහිදී අධම්මික සූත්‍රයෙන් පැහැදිළි කොට තිබේ.

අප රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දේශපාලනය සඳහා ඉදිරිපත් වූ බොහෝ දෙනෙක් ප්‍රභු පන්තියට අයත් වූවෝයි. තම ප්‍රභුත්වය ආරක්ෂා වන සේ බලය උපයෝගී කර ගැනීම ඔවුන්ගේ මූලික අපේක්ෂාව වූ අතර සමාජයේ පොදු යහපත යන සංකල්පය ඔවුනට බලයට පැමිණීම සඳහා වූ සටන් පාඨයකට වඩා වෙනත් යමක් නොවූ බව රටේ වර්තමාන පරිහානිය මගින් පැහැදිළිව ම පෙන්නුම් කර තිබේ. ධර්මිෂ්ඨ සමාජය, යහපාලනය, ලිච්ඡවි පාලනය වැනි සටන් පාඨ මැතිවරණ කාලවලට පමණක් සමාජගත කළ ඔවුන් බලයට පැමිණි පසු තම පාලනයන් සම්පූර්ණයෙන් ම ඒවාට විරුද්ධ දෙසට නතු කර තිබේ. සමාජයේ පොදු දියුණුවට අදාළ වන කටයුතු සාධාරණත්වයෙන් නියාමනය වීම ජනතාව පාලකයන්ගෙන් අපේක්ෂා කළ ද ඇතැම් පාලකයන් ක්‍රියා කොට ඇත්තේ අත්තුක්කංසනයෙන් විරාජමාන වීමටය. දූෂණය, සොරකම, නාස්තිය, අදූරදර්ශී තීරණ, ඥාතිසංග්‍රහ හා මිත්‍රසංග්‍රහ, නීතියේ විධානය තමන් අතට ගැනීම වැනි ක්‍රියාකාරකම් මගින් ඔවුන් දේශයට සිදු කොට ඇති හානිය නැවත ප්‍රතිපූරණය කළ නොහැකි තරම්ය.
රට සංවර්ධනය කරා ගෙන යාම ජනතාවගේ අපේක්ෂාව නමි තම පාලකයන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ යොග්‍යත්වය පිළිබඳව ජනතාව සවිඥානික වියයුතුව තිබේ. කාලාන්තරයක් තුළ බලයේ සිටි පාලකයන් විසින් රටේ ජනතාවට අත් කර දී ඇති දුක්ඛිත තත්වය අත්දකින පිරිසක් වශයෙන් විශෙෂයෙන් වර්තමාන ලාංකික ජනතාව පාලකයන් තෝරා ගැනීමකදී බුද්ධිමත්ව ක්‍රියා කිරීම අත්‍යව්‍යතාවකි. රටේ ජනතාව අත්විඳින දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව අවංක සංවෙදීතාවක් නොදක්වන එසේම තම දේශපාලන ඉතිහාසය තුළ දූෂිත පාලනයන්ට එකඟතාව දැක්වූ පුද්ගලයන් බලයට පැමිණීමෙන් පසු සාධාරණ යුක්තිගරුක ධාර්මිකත්වයෙන් රාජ්‍යපාලනයක් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

The post රාජ්ය පාලකයන් තේරීමේ බෞද්ධ නිර්නායක appeared first on Colombo Telegraph.

You may also like

- colombotelegraph.com

[…]The post A Season Of Fun & Frolic; Every Pantaloon Is Running Loose appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post American Chaos, Modi’s Heatwave & Ranil As Common Government Candidate appeared first on Colombo Telegraph.

- adaderana.lk

An ammunition explosion at a base in southwestern Cambodia on Saturday afternoon killed 20 soldiers and wounded several others, Prime Minister Hun Manet said.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the government s aim to create a highly competitive, export-oriented economy based on market economy, expressing full faith in the business community of the country.

- adaderana.lk

The Indian Government on Saturday said it has allowed exports of 99,500 tonnes of onions, mainly sourced from Maharashtra, to six neighbouring countries despite the ban on shipments.

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc