උගන්ඩා කාන්තාවකට රැවටුණු ශ්රී ලාංකික තරුණයා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
උගන්ඩා ජාතික කාන්තාවක විසින් රුපියල් ලක්ෂ 35ක් ලබා ගෙන , කූඨ ලෙස සකස් කර දුන් ප්‍රංශ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ ප්‍රංශය බලා පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ (10 ) කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 24 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .
මොහු කොළඹ කැසිනෝ සමාජ ශාලාවක සේවය කරමින් සිට මීට මාස දෙකකට පමණ පෙර උගන්ඩාව වෙත ගොස් ඇත්තේ ද , එරට කැසිනෝ සමාජ ශාලාවක රැකියාවක් සඳහායි.
එහිදී දැන හැදින ගත් මැදි වියේ උගන්ඩා ජාතික කාන්තාවක් ඔහුට ප්‍රංශය වෙත යෑම සඳහා වීසා බලපත්‍රයක් සකස් කර දීමට ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව මාතර ප්‍රදේශයේ මොහුගේ දෙමාපියන් සතු ඉඩමක් , මව සතු ස්වර්ණාභරණ තොගයක් සහ ඔහුගේ යතුරු පැදිය ද විකුණා , මෙම වීසා බලපත්‍රය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් 3,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 35ක මුදලක් මෙම උගන්ඩා ජාතික කාන්තාව වෙත ලබා දී තිබෙනවා.
ඇය මෙම තරුණයා උගන්ඩාවේ අසල්වැසි රාජ්‍යයක් වන කෙන්යාව වෙත රැගෙන ගොස් මෙම වීසා බලපත්‍රය ලබා දී තිබෙනවා.
මෙම වීසා බලපත්‍රය රැගෙන ශ්‍රී ලංකාව වෙත පැමිණි මෙම තරුණයා , ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත පිටත්ව යාම සඳහා ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් විසින් ගුවන් යානා නිශ්කාශන කටයුතු සිදු කිරීමේ දී ඇති වූ සැකය මත මෙම තරුණයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණ වලදී මෙම ප්‍රංශ වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව තහවුරු වීමත් සමඟම අත්අඩංගුවට ගත් මෙම තරුණයා සහ ඔහු සතු ලියකියවිලි සියල්ල වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
The post උගන්ඩා කාන්තාවකට රැවටුණු ශ්රී ලාංකික තරුණයා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට appeared first on ITN News.