නියඟය නිමා කරමින් ප්රදේශ කිහිපයකට වැසි
නියඟය අවසන් කරමින් බොහෝ ප්‍රදේශවලට ඊයේ දිනයේ ද වැසි ඇද හැලුණා.
කෙසේ වුවද බොහෝ ප්‍රදේශවල තවමත් වියලි කාලගුණය පවතිනවා.
මාස කිහිපයක සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය පහව යමින් ප්‍රදේශකිහිපයකටම ඊයේ රාත්‍රියේ වැසි ඇද හැලුණා.
මින්නේරිය හා හිඟුරක්ගොඩ යන ප්‍රදේශවලට මෙසේ වැසි ලැබී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයෙන් පසුවයි.
මාස කිහිපයක් වැසි නොලැබීම හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන හා කුඩා වැව්වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයට ද ඊයේ තද වැසි ඇති වුණා.
එම දිස්ත්‍රික්කය ද මාස ගණනාවක් පැවති නියං තත්ත්වය අවසන් කරමින් මෙසේ වැසි ලැබී තිබෙනවා.
වියලි කාලගුණය හේතුවෙන් වන සතුන්ද දැඩි පීඩාවකට ලක්ව සිටියා.
වැසි සමඟ තද සුළං ඇති වූ බයයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
මේ අතර අනුරාධපුර සීප්පු කුලම තම්මැන්නාව වැවේ මසුන් මැරීමේ නිරතව සිටි පුද්ගලයන් තුන්දෙනෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙසේ මසුන් ඇල්ලීමේ නිරතව සිට තිබෙනවා.
අද දිනයේ බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නැගෙනහිර ඌව සහ උතුර යන පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
එමෙන්ම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකියි.
සුළං නිරත දෙසින් හමන අතර සුලගේ වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර විය හැකියි.
The post නියඟය නිමා කරමින් ප්රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.