එක්සත් ජනපදයේ Heart to Heart International සංවිධානයෙන් ශ්රී ලංකාවට ඖෂධ පරිත්යාගයක්
තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, අටවන වරටත් Heart to Heart International ආයතනය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආසන්න වශයෙන් ඩොලර් 2,982,212.40 (එනම් රුපියල් මිලියන 985) වටිනා හදිසි වෛද්‍ය ආධාර තොගයක් පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය සියලුම රජයේ අනුමැතිය ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තානාපති කාර්යාලය මගින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලද මෙම අටවන ඖෂධ පරිත්‍යාගය 2023 ඔක්තෝබර් 26 වන දින ගුවනින් කොළඹට ලඟාවී ඇත.
මෙම නවතම පරිත්‍යාගයට වැඩිදියුණු වූ පිළිකා හෝ පිළිකාමය නොවන තත්වයේ පවතින වකුගඩු, අග්න්‍යාශය, මොළය සහ පියයුරු පිළිකා අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන Everolimus වැනි ඖෂධ වර්ග ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කරන ලද මෙම නොමසුරු පරිත්‍යාගයන් වෙනුවෙන් Heart to Heart International ආයතනය වෙත වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉමහත් ස්තුතිය පුදකර සිටී. Heart to Heart International ආයතනය විසින් සියළුම වියදම් දරා ඇති එම ඖෂධ තොගය ශ්‍රී ලංකාවාසී ජනතාවට කිසිදු වියදමකින් තොරව කඩිනමින් බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාරගනු ලබයි.
කන්සාස් ප්‍රාන්තයේ ලෙනෙක්සා නගරයේ මූලස්ථානය පිහිටා ඇති Heart to Heart International (HHI) ආයතනය, සෞඛ්‍යය ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය මානුෂීය සංවිධානයකි.
1992 වර්ෂය ආරම්භයේ සිට, HHI ආයතනය එක්සත් ජනපදය ඇතුළුව රටවල් 130 කට වැඩි ගණනකට ඩොලර් බිලියන 2.8 ක් වටිනා වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත.
වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීමෙන් HHI ආයතනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත්වලට ප්‍රතිචාර දක්වනු ලබයි.
මෙම සංවිධානය තරු 4 පුණ්‍යායතනයක් මෙන්ම BBB ප්‍රතීතනය ලත් පුණ්‍යායතනයක්ද වන අතර එය “Philanthropy 400” යටතේද නම්කර තිබෙනවා.
The post එක්සත් ජනපදයේ Heart to Heart International සංවිධානයෙන් ශ්රී ලංකාවට ඖෂධ පරිත්යාගයක් appeared first on ITN News.