How can Sri Lankan charities find international donors and partners?

මධ්යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

- colombotelegraph.com

සජීව චාමිකර

සජීව චාමිකර

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. එනම් පහතරට තෙත් කලාපීය වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තර වශයෙනි. මුහුදු මට්ටමේ සිට මීටර 100 ත් 900 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තර හෙක්ටයාර 31630 ක් හා මීටර 900 ත් 1500 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 4875 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතය වටා තවත් වනාන්තර හෙක්ටයාර 2500 ක් පමණ අනාරක්ෂිත තත්ත්වයේ පවතී. එසේ අනාරක්ෂිත ව ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භාරයේ පවතින වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් ය. එම වනාන්තර සියල්ල සිංහරාජ වන රක්ෂිතය හා සම්බන්ධ ව ඇති අතර සුවිශේෂී ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන අතර ජල පෝෂක ප්‍රදේශ ලෙස ද ක්‍රියා කරයි.

වර්තමානය වන විට සිංහරාජය වටා පිහිටි අනාරක්ෂිත වනාන්තර අතුරෙන් වැඩි වශයෙන් එළි කරනු ලබන්නේ උප කඳුකර වැසි වනාන්තරය. මෙම වනාන්තර ප්‍රදේශ තුළ මුළු ලොවින් ම සිංහරාජයට පමණක් ආවේණික ජීවී විශේෂ බහුල ව වාර්තා වේ. මේ නිසා මෙම අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට පවරා ගැනීම කඩිනමින් සිදු කළ යුතු ව ඇත. මේ ක්‍රියාවලිය ප්‍රමාද වන සෑම නිමේෂයක දීම සිදු වන්නේ එම වනාන්තර ජෛව ප්‍රජාව සමඟ මෙරටට අහිමි වීම ය.

මේ ආකාරයෙන් සිංහරාජ වන රක්ෂිතයේ පන්නිල – වලන්කන්ඳ කොටසට මායිම් ව පිහිටි අක්කර 600 කට වඩා වැඩි ව්‍යාප්තියක් පැවති රෝස්මෙරි වත්ත වනාන්තරය සීඝ්‍රයෙන් එළි කරමින් තේ වගාව හා එනසාල් වගාව ව්‍යාප්ත කරනු ලැබේ. මෙම වනාන්තර පද්ධතිය ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රක්වාන දකුණ හා කොට්ටල යන ග්‍රාම නිලධාරී වසම් දෙකට, කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පන්නිල ග්‍රාම නිලධාරී වසමට සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොළේකන්ඳ ග්‍රාම නිලධාරී වසමට අයත් වේ. රෝස්මෙරි වත්ත වනාන්තරය වතු කොටස් 5 කට අයත් වේ. අක්කර 129 ක් වන රෝස්මෙරි වත්ත, අක්කර 255 ක් වන බොයිනේ වත්ත, අක්කර 123 ක් වන එවර්ටන් වත්ත සහ අක්කර 40 බැගින් වන ටුලුකන් වත්ත හා ග්ලෙනල්වා වත්ත වශයෙන් මෙම වනාන්තරය පිහිටා තිබේ.

මෙම වනාන්තර පද්ධතියෙන් ආරම්භ වන ප්‍රධාන දියපහරවල් ගණනාවක් වේ. එනම් ඉදිකඩ දොළ, බීරි දොළ, අමුණුකරේ දොළ, හල් දොළ, පොළොන් ඇල්ල, හීන් දොළ, අනන්ත දොළ හා සන්නස් දොළ වශයෙනි. මෙම දියපහරවල ජලය ප්‍රධාන වශයෙන් ම කළු ගඟට එක් වන අතර රක්වාන දොළ ඔස්සේ වලවේ ගඟට ද මෙම වනාන්තරයේ දියපහරවල ජලය එක් වේ.

මෙම ජල මූලාශ්‍ර පදනම් කර ගෙන ප්‍රජා ජල ව්‍යාපෘති 5 ක් ක්‍රියාත්මක වේ. රක්වාන කුඩා නගර ජල ව්‍යාපෘතිය, රක්වාන ප්‍රාදේශීය සභා ජල ව්‍යාපෘතිය, ගංගොඩ – කොට්ටල ප්‍රජා ජල ව්‍යාපෘතිය, වෙරළුගහමුල පැරණි හා වෙරළුගහමුල නව ප්‍රජා ජල ව්‍යාපෘතිය යන ජල ව්‍යාපෘති මගින් පවුල් 5000 කට පමණ පානීය ජලය සැපයීම මේ වනාන්තර පද්ධතියේ ජල පෝෂක මත සිදු වේ.

මෙවන් වූ සුවිශේෂී වනාන්තර පද්ධතියක් අද වන විට පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් විනාශ කරමින් පවතී. ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 231 සී රක්වාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ සිංහරාජ වන රක්ෂිතයේ වලන්කන්ඳ කොටස හා සම්බන්ධ ව පිහිටා ඇති ටුලුකන් වත්තේ ගල්ඇන්ඳහේන ප්‍රදේශයේ අක්කර 15 ක පමණ වනාන්තර ප්‍රදේශයක් නීති විරෝධී ව අත්පත් කර ගෙන සිටින, කෙලින්වීදිය, රක්වාන ලිපිනයේ පදිංචි මොහොමඩ් ෂරීෆ මොහොමඩ් ඉයාස් (එම්. එස්. එම්. ඉයාස්) නම් පුද්ගලයකු විසින් වනාන්තරයේ යටි ස්ථරය සම්පූර්ණයෙන් ම ඉවත් කර 2023 වසරේ මුල් කාලයේ දී එනසාල් වගාව ආරම්භ කෙරිනි. ටුලුකන් වත්තේ වනාන්තරවල සිට බොයිනේ වත්තේ වනාන්තර ද මේ වන විට මහ පරිමාණයෙන් මෙම පුද්ගලයා විසින් ඉවත් කර ඇත. එනසාල් වගාවට අමතර ව වනාන්තර ඉවත් කර තේ වගා බිම් ව්‍යාප්ත කිරීම ද මේ වන විට සිදු කරමින් පවතී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අක්කර 5 ක පමණ වනාන්තර භූමියක් බදු පදනම මත ලබා ගෙන එය භාවිත කර මේ වන විට අනවසරින් අක්කර 15 ක් පමණ වනාන්තර එළි කර නීති විරෝධී ව අත්පත් කර ගෙන ඇත. මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතයට මායිම් ව පිහිටි මෙම වනාන්තර ඉඩම වටා විදුලි වැටක් ඉදි කර තිබේ. මේ මගින් සිංහරාජ අඩවියේ ජීවත් වන සතුන්ට ද විශාල බලපෑම් ඇති වෙමින් තිබේ. මේ තත්ත්වය පාලනය කිරීමට මෙම වනාන්තර ඉඩම් සියල්ල ම සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කළ යුතු ව ඇත.

මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතයට පැවරීමට යෝජිත ව ඇති ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ධාශයට අයත් රක්වාන දකුණ ග්‍රම නිලධාරී වසමට හා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොළේකන්ඳ ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි රෝස්මෙරි වත්ත හා එවර්ටන් වත්ත යන වනාන්තර ප්‍රදේශ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් අත්පත් කර ගෙන මේ වන විට විවිධ භාවිතයන් සඳහා යොදා ගෙන ඇත. අක්කර 129 ක් වන රෝස්මෙරි වත්ත 1987 වසරේ දී ප්‍රකාශන ඔප්පුවක් මගින් දැනට ජීවතුන් අතර නොමැති සිරිවර්ධන කුරුප්පු නම් පුද්ගලයකු විසින් අත්පත් කර ගෙන ඇති අතර පසු ව ඔහු ගේ දරුවන් වන රොහාන් කුරුප්පු හා සුදර්ශන කුරුප්පු යන අයට එම ඉඩම අයත් වී ඇත. ඔවුන් විසින් අක්කර 30 ක් පමණ වන වනාන්තරයක් කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන ලලිත් රාජපක්ෂ යන අයට විකුණා තිබේ. ඔහු විසින් මෙම ඉඩමට පරිභාහිර ව පිහිටි වනාන්තර ද එළි කර තේ වගා බිම් ව්‍යාප්ත කිරීම හා හෝටලයක් ඉදි කිරීම සිදු කර ඇත. එම ඉඩමෙහි ඉතිරි අක්කර 99 ක වනාන්තර ප්‍රදේශය ගොඩකවෙල, බලවින්න ප්‍රදේශයේ පදිංචි ජයරත්න කුරුප්පු නම් පුද්ගලයකු විසින් මිල දී ගෙන ඔහු ගේ පවුලේ අයට අයත් සමාගමක් මගින් වනාන්තර එළි කරමින් සංවර්ධනය කරමින් පවතී.

මීට අමතර ව අක්කර 123 ක් වන එවර්ටන් වත්ත එම්. එස්. මරික්කාර් නම් පුද්ගලයකු විසින් එවර්ටන් වැවිලි සමාගම නම් සමාගමක් යටතේ වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන මේ වන විට වනාන්තර එළි කරමින් තේ වගා බිම් ව්‍යාප්ත කිරීම, දැවමය ශාක කපා විකිණීම සිදු කරයි. මීට අමතර ව කළුගල් කැනීම ද සිදු කර ඇත.

මේ ආකාරයෙන් වැසි වනාන්තර විනාශ කිරීම හේතුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 ක් පමණ බව තහවුරු වී තිබේ. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% ක් පමණ වේ. ලෝකයේ නිවර්තන වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර බිලියන 1.84 කි. ඒ අනුව ලංකාවේ දැනට ඉතිරි වී ඇති වැසි වනාන්තර ප්‍රමාණය මුළු ලෝකයේ ම වැසි වනාන්තර වැස්මෙන් 0.011% කි.

මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302 ක් (1.9% ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 ක් (0.4% ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 ක් (0.7 ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛණ මීට වසර 13 කට ප්‍රථම මෙරට වැසි වනාන්තරවල තත්ත්වය වන අතර අද වන විට මේ ආකාරයෙන් තේ, එනසාල් හා කටුපොල් වැනි වාණිජ වගා බිම් ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර තිබේ.

මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් වැඩි ම වර්ශාපතනයක් ලැබෙන තෙත් කලාපයේ ජලය රඳවා ගන්නා ජල පෝෂක බිම් අහිමි වීම හා වැසි වනාන්තර තුළ ජීවත්වන සීමිත ව්‍යාප්තියක් ඇති ඉතා ම දුර්ලභ ජීවී විශේෂවල පැවැත්මට දරුණු බලපෑම් එල්ල වීම සිදු ව තිබේ.

නමුත් ලංකාවේ ඉතිරි වී ඇති ඉතා ම ස්වල්පයක් වන වැසි වනාන්තර තුළ මෙරටට ආවේණික ජීවී විශේෂ අතුරෙන් 90% ක් පමණ ජීවත් වේ. ඊට අමතර ව වඳවීමේ තර්ජනයට දරුණු ලෙස ලක් වී ඇති ජීවී විශේෂ අතුරෙන් 99% ක් ම වාර්තා වන්නේ මෙම වැසි වනාන්තර තුළ ය.

ආරක්ෂිත නොවන මේ සියලු වැසි වනාන්තර එළි කිරීම් සිදු කරනු ලබන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීම හෝ වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශිත රක්ෂිත ප්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත හෝ පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත පස සංරක්ෂණ කලාපයක් තුළ ඕනෑ ම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය.

ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

නමුත් මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් කාර්යාලයේ නිලධාරීන් මෙම නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන්ට උපදෙස් ලබා දී ඇත්තේ එකවර හෙක්ටයාර එකකට වඩා අඩු නැතහොත් අක්කර 2.5 කට වඩා අඩු වනාන්තර කොටස් හෝ සිංහරාජ වන රක්ෂිතයේ මායිමේ සිට මීටර 100 කට වඩා දුරින් පිහිටි වනාන්තර හෝ එළි කිරීම සිදු කරන ලෙස ය. ඒ ආකාරයෙන් සිදු කරන වනාන්තර එළි කිරීම් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට අයත් නොවන බවට නීති විරෝධී ව වනාන්තර එළි කරන පුද්ගලයන්ට මෙම නිලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත. අප මෙම වන විනාශයන් සිදු කරන ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම ක්‍රියාවල නිරත පුද්ගලයන් අප සමඟ පැවසූවේ මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමන්ට උපදෙස් ලබා දී ඇති බව ය. එපමණක් නොව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ද ඉඩම් ජාවාරම්කරුවන් හා එක් ව වනාන්තර ඉඩම් කොල්ලය සිදු කරමින් සිටී.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් නීතියෙන් රිංගා යාමට ජාවාරම්කරුවන්ට උපදෙස් ලබා දී ඇති නමුත් උක්ත නීතිමය තත්ත්වයන්ට අමතර ව මෙලෙස නිති විරෝධී ව එළි කරන වනාන්තර ඉඩම් සියල්ල 1996 අංක 24 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මගින් පස සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රදේශ වේ. ඒ අනුව මෙම ප්‍රදේශයේ වනාන්තර එළි කර වගා බිම් ව්‍යාප්ත කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වයන් පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද මෙම නිලධාරීන් විසින් උල්ලංඝනය කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) උප ව්‍යවස්ථාවට අනුව “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය.” ඒ අනුව සියලූ ම රාජ්‍ය ආයතන විසින් සිංහරාජ අඩවිය හා ඒ වටා පිහිටන සියලූ ම පරිසර පද්ධති, ජල පෝෂක බිම් ඇතුළු සියල්ල ආරක්ෂා කිරීමට, වැඩිදියුණු කිරීමට, නීති හා අණ පනත් ක්‍රියාත්මක කිරීම මෙන් ම අලුත් නීති හා අණ පනත් සකස් කිරීම ද සිදු කළ යුතු ය. සිංහරාජ අඩවිය හා ඒ වටා පිහිටි ප්‍රදේශයේ පැවැත්මට බලපෑම් නොවන ආකාරයේ තීන්දු තීරණ ගැනීම මෙන් ම ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාවේ යෙදවීමට ද සියලූ ම රාජ්‍ය ආයතන බැඳී සිටී.

එසේ තිබිය දී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් වනාන්තර විනාශ කළ හැකි ආකාරය පිළිබඳ ව ජාවාරම්කරුවන්ට උපදෙස් ලබා දීමෙන් පෙනී යන්නේ මෙම සුවිශේෂී වනාන්තර පද්ධතිවල වටිනාකම පිළිබඳ ව කිසිදු අවබෝධයක් මෙම වනාන්තර විනාශ කිරීමට උපදෙස් ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ට නොමැති බව ය.

මෙම සියලු තත්ත්වයන් පදනම් කර ගෙන අප යෝජනා කරන්නේ සිංහරාජ වන රක්ෂිතය වටා කිලෝමීටර 2 ක ප්‍රේරක කලාපයේ පිහිටි සියලු වනාන්තර ආරක්ෂිත තත්ත්වයට පත් කරන ලෙස ය. මෙම වනාන්තර පනත් දෙකක් යටතේ ආරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි ය. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ හා ඈ වගන්තිවලට අනුව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස හෝ 2022 අංක 7 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) උප වගන්තියට අනුව අභය භූමියක් ලෙස හෝ ප්‍රකාශයට පත් කර සිංහරාජ වන රක්ෂිතය වටා පිහිටි සියලූ ම අනාරක්ෂිත වනාන්තර ආරක්ෂිත තත්ත්වයට පත් කළ බව ය.

මෙම පනත් දෙක ම යටතේ රජයට අයත් නොවන ඕනෑ ම භූමි ප්‍රදේශයක් රජයට අත්පත් කර ගැනීමකින් තොර ව ආරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි ය. විශේෂයෙන් අභය භූමියක් ලෙස සිංහරාජ වන රක්ෂිතය වටා කලාපය ප්‍රකාශයට පත් කිරීමෙන් සිංහරාජයේ ජීවත් වන අලි දෙදෙනා ගේ රැකවරණය සුරක්ෂිත කිරීම හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිමය මැදිහත් වීම සිංහරාජ අඩවිය ආරක්ෂා කිරීම සඳහා ලබා ගැනීමට හැකි වනු ඇත. මෙය ක්‍රියාත්මක කරන අතරතුර නීති විරෝධී ව වනාන්තර එළි කරන පුද්ගලයන්ට හා ඒ සඳහා උපදෙස් ලබා දුන් නිලධාරීන්ට එරෙහි ව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.

The post මධ්යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි appeared first on Colombo Telegraph.

You may also like

- island.lk

India rode on Renuka Singh’s 3 for 18 to beat Bangladesh by 45 runs in the opening game of the five-match T20I series in Sylhet, on a humid Sunday evening. India have won 15 of 18 T20Is against Bangladesh now. Barring the Bangladesh captain Nigar Sultana, none of the batters could put up a fight […]

- island.lk

By Norman Palihawadane and Hemantha Randunu Six persons have been arrested with stocks of narcotics with a total street value of over Rs. 350 million, during a series of raids conducted by the police with the help of the STF, in Biyagama and Maharagama recently. The narcotics had been sent by a criminal called Kamal […]

- island.lk

The Urban Development and Housing Ministry is planning to open a wax museum at the Ehelepola Walawwa, Kandy, depicting life in the Kandyan era. The Walawwa, believed to have been built between 1800-1810, sits on a 141-perch land. It had been under the Prisons Department until 2013, when it was taken over by the Urban […]

- island.lk

the Mini CARAT 2024 exercise, conducted by the navies of the US and Sri Lanka, ended successfully on Friday (26), the Navy said yesterday. The Mini Cooperation Afloat Readiness and Training (CARAT) bilateral exercise 2024 between the United States Pacific Fleet and the SL Navy commenced on April 22 and was held at the Marine Headquarters, […]

- island.lk

May Day rallies: by Chaminda Silva Colombo Municipal Council Commissioner Bhadrani Jayawardena said political parties, including the UNP, SLPP, SJB and JVP/NPP and many civil organisations, have reserved public grounds and places in the city for the upcoming May Day celebrations. She said that the Municipal authorities expect around 500,000 persons to arrive in Colombo […]

- island.lk

Hundreds of millions of people in South and Southeast Asia were suffering the weekend from a punishing heat wave that has forced schools to close, disrupted agriculture, and raised the risk of heat strokes and other health complications, agency reports said. An NBC dispatch said: The weather across the region in April is generally hot, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc