හරක් කටා ඉල්ලන පහසුකම් දෙන්න හැකියිද බලන්න නීතිපතිට නියෝග
අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් ප්රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලා අප්රේල් මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.
‘හරක් කටා’ නමැත්තා විසින් ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.
විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වනවිට රඳවුම් භාරයේ පසුවන තම සේවාදායකයා විසින් පහසුකම් කිහිපයක් ඉල්ලා සිටින බව සඳහන් කළේය.
ඒ අනුව නීතිඥවරු හමුවී උපදෙස් ලබා දීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයෙකු වෙනුවෙන් ලබා දෙන විනාඩි 15ක් කාලය පැයක් දක්වා වැඩි කරන ලෙස නියෝග නිකුත් කරන මෙන් විත්තිකරු ඉල්ලා සිටින බව ජනාධිපති නීතිඥවරයා ප්රකාශ කළා
එසේම විත්තිකරුගේ මව, පියා සහ බිරිද හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත් තම දරුවා සමඟ දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා
ඊට අමතරව විත්තිකරුට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා
එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු විසින් ඉදිරිපත් කරනු ලබන පහසුකම් අතුරින් ලබා දිය හැකි ඒවා කවරේ දැයි කරුණු පරීක්ෂා කර බලා අප්රේල් මස 08 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතාට නියෝග කළා
The post හරක් කටා ඉල්ලන පහසුකම් දෙන්න හැකියිද බලන්න නීතිපතිට නියෝග appeared first on ITN News.