පාකිස්ථාන කාන්තා පිල 20 – 20 තරගාවලිය ජයගනී
ශ්‍රී ලංකා – පාකිස්ථාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසාන තරගයෙන් ලකුණු 38ක ජය අත්කර ගත් පාකිස්ථානය මේ තරගාවලිය 2 – 1 ක් ලෙස ජය ලැබීය.
පාකිස්ථාන කාන්තා පිල ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 113ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 අවසානයේ කඩුලු අටක් දැවී ලබා ගත්තේ ලකුණු 75ක් පමණකි.
පාකිස්ථාන කාන්තා පිල වෙනුවෙන් සිඩා අමීන් ලකුණු 23ක් ද (පන්දු 34) නහිඩා කාන් ලකුණු 19ක් ද (පන්දු 23) ජවෙරියා කාන් ලකුණු38ක්ද (පන්දු 38 හතරේ තුනයි) නිඩා ඩාර් ලකුණු 22ක්ද (පන්දු 16යි හතරේ තුනයි) ලබා ගත්හ. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් කැපී පෙනුණු කුමාරි ලකුණු 20කට කඩුලු දෙකක් ද රණසිංහ ලකුණු 23කට කඩුලු දෙකක්ද දවාලූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ ලකුණු 32කට කඩුලු පහක් දැවීයාමෙන් පසු නැවත තරගයට අවතීර්ණ වීමට අපහසු විණි.
ලංකා පිතිකාරිණියන් අතුරින් දස්කම් දැක්වූ එම්.සංජිවනී ලකුණු 14ක් ද (පන්දු 15යි) එච්.මෙන්ඩිස් ලකුණු 25ක්ද (පන්දු 49යි) කැපී පෙනුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂම පිතිකාරිණිය වන නායිකා චමරි අතපත්තුට තරගාවලිය පුරා ලකුණු අතරට ඒමට ද අවස්ථාවක් නොලැබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය පිතිකාරිණියන් අටදෙනා අතුරින් සිව්දෙනෙකුම දැවී ගියේ දුවද්දී දැවීමට හසුවීමෙනි. පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සෙනසුරාදා (31) නිමා වූ අතර එක්දින තරග 3 -0 ක් ලෙසත් 20 -20 තරග 2 -1 ලෙසත් පාකිස්ථාන පිල ජය ලැබීය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-