එකම කදවුරේ පුහුණුව ලැබූ තවත් මිතුරෙකු ජනපතිට ඉන්දියාවේදි හමුවෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලැබූ වස්ථාවේ එකම කදවුරේ පුහුණුව ලැබූ තවත් මිතුරෙකු අද (30) හමුවුණා. ඒ ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරල් වී කේ සිං මහතායි.
මෙම දෙදෙනා සමග පුහුණුව ලැබූ මේ වන විට විශ්‍රාමිකව සිටින තවත් හමුදා නිලධාරීන් 15 දෙනෙකු පමණ එක්ව සිටි මෙම හමුව බොහෝ සුහදශීලී අතීතය ස්මරණය කරන්නක් වූවා. මේ අතරින් බොහෝ දෙනෙකු ඉන්දීය සාම සාධක හමුදාවේ නිළධාරීන් ලෙස මෙරට සේවයේ නිරතව සිටි අය වීම විශේෂත්වයක්. එම හමුව අවසන් වූයේ පැරණි අතීතය මගින් අලුත් මිතුරන් පිරිසක් නැවත එක්කළ අවස්ථාවක් සනිටුහන් කරමින්. එම මිතුදම තුළින් යළි ගොඩනැගුනේ දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුරයි.
මේ අතර ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය සනිටුහන් කරමින් එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී අඹ පැලයක් රෝපණය කළා. මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමග කතාබහකට එක්වූ ජනාධිපතිතුමා දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන ආකාරයෙන් රාජකාරී කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මහබෝධි සංගමයේ සභාපති මෙන්ම දඹදිව සාංචි චේතියගිරි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ ද ජනාධිපතිතුමා හමුවුණා. සාංචි විහාරස්ථානයේ වත්මන් තත්ත්වය හා එහි තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබද සාකච්ඡා කෙරුණා.
ශ්‍රී ලාංකේය වන්දනාකරුවන් වෙනුවෙන් විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු සිංහල භාෂාවෙන් ප්‍රදර්ශනය කිරීම පිළිබදව උන්වහන්සේ ජනාධිපතිතුමා දැනුවත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ භාරතීය ජනතා පක්ෂයේ මහලේකම් රාම්මාදෙව් මහතා අතර හමුවක්ද අද (30) පස්වරුවේ පැවැත්වුණා. එහිදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබද සුබපැතුම් එක්කළා. හින්දු පුවත්පතේ කතෘ සොහාෂි හයිඩර් මහතා ද ජනාධිපතිතුමා හමුවුණා.
The post එකම කදවුරේ පුහුණුව ලැබූ තවත් මිතුරෙකු ජනපතිට ඉන්දියාවේදි හමුවෙයි appeared first on ITN News.