වෛද්‍ය සභා සාමාජිකයන් ඉවත් කිරීමේ මැදිහත්වීම ගැන සෞඛ්‍ය ඇමතිනියට ආචාර්ය සංගමයේ විරෝධය
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමතිනියගේ බලපෑම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය කනගාටුව හා විරෝධය පළ කරයි.
එම සම්මේලනය විසින් නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දෙන්නේ වෛද්‍ය සභාවේ සාමාජිකයන් 5 දෙනකු ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පියවර ගෙන ඇත්තේ පසුගිය කාලයේ වෛද්‍ය සභාවේ තීරණ සම්බන්ධ විමර්ශනයට පත්කළ කමිටුවක නිර්දේශ අනුවය. මෙරට ජනතා බදු මුදලින් පවත්වාගෙන යන නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තීරණාත්මක ආයතනයක් මෙන්ම පසුගිය සයිටම් අර්බුදයේදී නිවැරදිව කටයුතු කළ වෛද්‍ය සභාවට ආණ්ඩුවේ බලධාරින්ගේ බලපෑම් පැමිණියද ස්වාධීන තීරණ ග හැකි විය.
කෙසේවෙතත් වෛද්‍ය සභාව සිදුකළ බව කියන ඇතැම් දෝෂයන් සම්බන්ධ විමර්හනයකර ඇමතිනියට නිර්දේශ ලබාදීම සඳහා පත්කරන ලද කමිටුවේ සංයුතිය සම්බන්ධ ගැටලු සාකච්ඡාවට ලක්ව තිබිණි. ඇතැම් සාමාජිකයන් වෛද්‍ය සභාවට විරුද්ධ පැමිණිලි කළ පාර්ශ්වයන්ගේ සමීප පුද්ගලයන් බවට චෝදනා ඇත. ඒ අනුව පැමිණිලි පාර්ශ්වය විනිශ්චය ලබාදෙන ආකාරයේ සිදුවීමක් කමිටුව හරහා සිදුව ඇත. මෙසේ අයුක්ති සහගත විමර්ශනයකින් සාමාජිකයන් අස්කිරීමෙන් පසුව, වෛද්‍ය සභාව නැවත පත්කිරීමට ඇමතිවරියට ඉඩ ලබාගෙන ඇත.
මෙම තත්වය අවධානයට ගෙන නිකුත් කළ නිවේදනයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි සහ සභාපති ශ්‍යාම බන්නැහැක මෙම නිවේදනයට අත්සන් තබා තිබේ.
පහත පළ වන්නේ එම නිවේදනයයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) වර්තමාන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මාධ්‍ය නිවේදනය
“ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් නියෝජනය කරන එකම වෘත්තීය සමිතිය වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA), ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) වර්තමාන අර්බුදකාරී තත්ත්වය අතිශයින්ම ජාතික වැදගත්කමකින් යුතු කරුණක් ලෙස සලකමින් ඒ පිළිබඳව සිය කනස්සල්ල පළ කර සිටී.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අධ්‍යයන හා වෘත්තීය ප්‍රමිතීන්, විනය හා සදාචාරාත්මක පැවැත්ම සහතික කිරීම මගින් සෞඛ්‍ය සේවාවන් පරිහරණය කරන සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා වන ව්‍යවස්ථාපිත ආයතනය ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව 1925 දී පිහිටුවනු ලැබ ඇත. එබැවින්, දේශපාලන අධිකාරියෙහි හා / හෝ වෘත්තීය සමිති ඇතුලු වෙනත් ආයතනවල හෝ කිසිදු ආකාරයක නුසුදුසු බලපෑම්වලින් හා ඇඟිලි ගැසීම්වලින් තොරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය සහතික කිරීම අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය පවත්වාගෙන යාම උදෙසා බදු මුදල් ගෙවමින් දායක වන සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහි ලා අතිශයින්ම වැදගත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තරයේ විශ්වාස කරයි.
එහි සාමාජිකයන් අතර ද වෛද්‍ය, නෛතික හා වෙනත් විවිධ වෘත්තිකයන් සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පහත සඳහන් කරුණු මත පදනම්ව දරන්නාවූ අදහස වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් සිව්දෙනෙකු ඉවත් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෑතකදී අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටිය අසාධාරණ මෙන්ම ස්වාභාවික යුක්තියේ මූලධර්මයන්ට පවා පටහැණි වූවක් බවත් ය.
- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා හෝ සාමාජිකයෙකුගේ ධුර කාලය අවසන් වීමට පෙර ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට වෛද්‍ය ආඥාපනත යටතේ ප්‍රතිපාදන ලබා දී නොමැත. එබැවින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ක්‍රියාමාර්ගය සිය බලය ඉක්මවා කටයුතු කිරීමක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සලකයි.
- පසුගිය කාලයෙහි දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුවක් විසින් කරන ලද නිර්දේශ මත පදනම්ව සාමාජිකයින් 5 දෙනෙකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කිරීමට අමාත්‍යවරිය තීරණය කර තිබේ. මෙම කමිටුව විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කිසිදු තනි සාමාජිකයෙකුට එරෙහිව නිශ්චිත පරීක්ෂණ හෝ චෝදනා ඉදිරිපත් කර නොතිබුණ නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඇතැම් වැරදි තීරණවල ගෙන තිබූ බවට අදාල කමිටුව තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලෙස සාමූහිකව ගනු ලැබ තිබූ එම තීරණ සඳහා සභාපතිවරයා හෝ වෙනත් සාමාජිකයන් කිහිප දෙනෙකු පමණක් නොව සමස්ත සභාවම වගකිව යුතුය.
- තවද, එම කමිටුවේ සංයුතිය පිළිබඳව විවිධ වෘත්තීය සංවිධාන කිහිපයක් විසින් ම ප්‍රශ්න කර තිබෙනු ද අපි නිරීක්ෂණය කර ඇත්තෙමු. ඒ අනුව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහි ප්‍රධාන පැමිණිලිකරුවෙකු වන එක්තරා සංවිධානයකට සමීප සබඳතා සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. කරුණු එසේ නම් මෙම කමිටුවේ නිර්දේශයන් ගේ විශ්වසනීයත්වය පිළිබඳ ව සාධාරන සැකයක් අප සාමාජිකයන් තුළ පවතී.
මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහි චෝදනා සත්‍ය ද අසත්‍ය ද යන්න කෙසේ වෙතත්, අමාත්‍යවරිය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියාමාර්ගය වැරදි සහගත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විශ්වාස කරයි. එබැවින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට දැඩි ලෙස බාධා කරන මෙම වැරදි ක්‍රියාව වහාම නිවැරදි කරන ලෙස අපි අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
එක්සත් රාජධානියේ සහ අනෙකුත් සංවර්ධිත රටවල මෙන් වෛද්‍ය නොවන වෘත්තිකයින් වැඩි දෙනෙකු ඇතුළත් කළ හැකි වන පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වර්තමාන සංයුතිය වෙනස් කිරීම මගින් එහි තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි ස්වාධීනත්වය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතු බව සෑම ක්‍ෂේත්‍රයකම වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙහි සාමාජිකත්වය වැඩි දුරටත් අදහස් කරයි.”
The post වෛද්‍ය සභා සාමාජිකයන් ඉවත් කිරීමේ මැදිහත්වීම ගැන සෞඛ්‍ය ඇමතිනියට ආචාර්ය සංගමයේ විරෝධය appeared first on Lanka Views | Views of the truth.