නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට කැම්පස් හදන්න මෛත්‍රී ඉඩම දුන් හැටිත් හෙළිවෙයි
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාට අයත් බැටික්ලෝ කැම්පස් ආයතනය ආරම්භ කිරීමට මහවැලි අධිකාරියට අයත් ඉඩමක් ලබා දී ඇත්තේ එවකට මහවැලි විෂය භාර අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේ බව ජනාධිපති කොමිසමේදී ඊයේ (13) අනාවරණය වුණා.
ඒ මහවැලි සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂවරයා එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේයි.
පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13) පස්වරුවේ සාක්ෂි ලබා දුන්නේ ශී‍්‍ර ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ අසංක උදය කුමාර මහතායි. හිරා පදනමේ එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා වෘත්තීය පුහුණු ආයතනයක් ඇරඹීම සදහා 2012 වසරේ මාර්තු 15 වනදා මහවැලි අධිකාරියට අයත් ඉඩම් අක්කර 25 ක් ඉල්ලා තිබූ බව උදය කුමාර මහතා මෙහිදී සදහන් කළා. ඒ සම්බන්ධයෙන් අයදුම්පතක් යොමු කරන ලෙස මහවැලි අධිකාරිය කළ දැනුම් දීමට අනුව හිරා පදනම ඉදිරිපත් කළ අයදුම්පතේ සෞදි අරාබියේ වෘත්තීය පුහුණු ආයතනයක ආධාර වෘත්තීය පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට ඉඩම් අක්කර 35ක් අවශ්‍ය බව සඳහන්ව තිබූ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේ.
සුදුසු ඉඩමක් සොයා බලන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දැනුම් දී තිබු බවත් ඒ අනුව සුදුසු ඉඩම් අක්කර 35ක් පිළිබද නේවාසික ඉඩම් කළමනාකාරීවරයා දැනුම් දීමෙන් පසු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ හිරා පදනමට බදු පදනම යටතේ මෙම ඉඩම් නිදහස් කිරීම සිදුවූ බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැහැදිලි කළා. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ සාමාන්‍යයෙන් ඉඩමක් ලබා දෙන්නේ පුද්ගලයෙකුට හෝ නෛතික තැනැත්තෙක් කියලා සලකන්නේ සමාගම් පනතේ ලියාපදිංචි වුණු ආයතන විතරයි.
ඔබ ඔය කියපු විදියට අක්කර 35ක් ඉල්ලපු හිරා පදනම කොහොමද නෛතික පුද්ගලයෙක් වෙන්නේ. ඊට පිළිතුරු දුන් අධ්‍යක්ෂවරයා ස්වාමීණී හිරා පදනම ඉදිරිපත් කරලා තියෙනවා ඒ අය සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වෙලා තියෙන බව තහවුරු කිරීමේ සහතිකයක්. එකෙන් තමයි මේ ඉඩම අරන් තියෙන්නේ යැයි සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නා.
මෙහිදී රජයේ අධිනීතීඥවරයා ප‍්‍රශ්නයක් යොමු කළා. මහවැලි අධිකාරියට අයත් මෙම ඉඩම් අක්කර 35 බැටික්ලෝ කැම්පස් ආයතනය ඉදිකරන්න බදු දෙන අවස්ථාව වෙන කොට මහවැලි විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද?
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ එවකට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මහවැලි විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඔහු මෙම ඉඩම් බදු දීමේ ගිවිසුම අනුමත කර තිබූ බවයි.
The post නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට කැම්පස් හදන්න මෛත්‍රී ඉඩම දුන් හැටිත් හෙළිවෙයි appeared first on ITN News.