මරාගෙන මැරුණු ඊබ්‍රහිමුත් තම ඥාති දියණියගේ විවාහයට තමන් අත්සන් කළ බව රිෂාඩ් පිළිගනී
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් සහ තම ඥාති දියණියක් අතර සිදු වූ විවාහයේ සාක්ෂිකරුවකු ලෙස තමන් අත්සන් තබන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාස්කු කොමිසම වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී සහ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේදී සිංහල භාෂාවෙන් ප්‍රකාශ ලබාදී තිබූ මන්ත්‍රීවරයා පොලිස් කොමිසම හමුවේ දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබාදීමට ඉල්ලා සිටීම කැපී පෙනුණා. පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී කොමිසමේ සභාපති, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි විමසීම පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
උපුටාගැනීම
මෙම සාක්ෂිකරුට අදාළව මීට පෙර වෙනත් සාක්ෂිකරුවන්ගෙන් සිදු කරන සාක්ෂි විමසීම්වලදී බන්ධනාගාරයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඒවාට සවන්දී සදහා ඔහු පෙරදිනයේ අවසර ඉල්ලා සිටියා. එහෙත් රිෂාඩ් බදියුදීන් මහතා නියෝජනය කරමින් පැමිණි පුද්ගලයකු කොමිෂන් සභාවෙන් පිටතදී සාක්ෂි විමසීම් පටිගත කරමින් සිටියදී සොයා ගත්තා. ඒ හේතුවෙන් සාක්ෂිකරුට බන්ධනාගාරයේ සිට අන් අයගේ සාක්ෂි විමසීම සවන්දීමට අවසර ලබා නොදෙන ලෙසටයි තීරණය කෙරුණේ. බදියුදීන් මහතා කොමිෂන් සභාව වෙත ගෙනවිත් සාක්ෂි විමසීමට බලාපොරොත්තු වුවද රටේ පවත්නා
තත්ත්වය හමුවේ එසේ කිරීමට නොහැකියි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ජනාධිපති කොමිසමේ ලේකම්වරයා ඊයේ පස්වරුවේ දැනුවත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ රිෂාඩ් බදියුදීන් නැමැති සැකකරු රඳවා ඇති මැගසින් බන්ධනාගාරය් ඊ වාට්ටුවේ ඔහුගේ දෙපසින් ඇති කුටි දෙකෙන්ම කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇති බවයි . එමෙන්ම ඔහුගේ කුටිය පිරිසිදු කරන්නාටද කොරෝනා වැළඳී ඇති බවට හදුනා ගැනුණා. මෙවැනි තත්ත්වයක් හමුවේ කොමිසම තීරණය කළේ සාක්ෂිකරුගෙන් අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබාගැනීමටයි .
යනුවෙන් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ තම සේවා දායකයාට දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍ය බවයි. මෙහිදී කරුණු දැක්වූ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ පසුගිය ජූනි 19 වනදා ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශ ලබාදීමේදී සාක්ෂිකරු කියා ඇත්තේ සිංහල භාෂාවෙන් තමන්ට කතා කිරීමට හා තේරුම් ගැනීමට හැකියාව පවතින බවයි. කොමිසමේ මෙම මතය නීතිඥවරයා බදියුදීන් මහතා වෙත දැනුම් දුන් අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව තමන්ට මව් භාෂාවෙන් ප්‍රකාශ ලබාදීමට අයිතියක් ඇති බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. කෙසේ වුවද දිවා විවේකයෙන් පසු භාෂා පරිවර්ථකයකු රැගෙන එමින් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණා. එහිදී රජයේ නීතිඥවරයා
ඔබට මා කියන දේ ඇහෙනවාද ?.
යනුවෙන් විමසූ අවස්ථාවේදී පවා සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේ දෙමළ භාෂාවෙන් වීම විශේෂත්වයක්.
The post මරාගෙන මැරුණු ඊබ්‍රහිමුත් තම ඥාති දියණියගේ විවාහයට තමන් අත්සන් කළ බව රිෂාඩ් පිළිගනී appeared first on ITN News.