උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරවීම ඇතුලු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ උදුවප් පුර පසළොස්වක පොහොය අදයි.
ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම උදුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුවුණා. සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ පෙරටුකර ගනිමින් අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදිකරවා මෙරට භික්ෂුණී ශාසනය පිහිටුවීම ද සිදුවුණේ මෙම උතුම් පොහොය දිනයේයි. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සෞඛ්‍ය අංශ ලබා දි ඇති උපදෙස් අනුව සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතව සිටිනවා.
සෑම පොහෝ දිනකම ගෙන එනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා වැඩසටහන මෙවරත් පැවැත්වුණා. ධර්ම දේශනය සිදු කළේ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේයි. විජේරාම නිල නිවසේ පැවති ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා පවුලේ සාමාජිකයන් සහභාගි වුණා.
ස්වාධීන රූපවාහිනිය සෑම පොහෝ දිනකම ගෙන එන සවණක් රැස් සජීව පෝදා වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ මුල්ලේරියාව ගල්වාන පුරාණ රජමහා විහාරස්ථානයේ සිටයි. පූජ්‍ය දොඩංපහළ රාහුල ස්වාමීන්වහන්සේ උදෑසන ධර්ම දේශනය සිදු කළා. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුලු වැඩසටහන් රැසක් අද දවස පුරා ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර ලක්හඩ ගුවන් විදුලිය සංවිධාන කරන ශාසනාලෝක වැඩසටහන ද පැවැත්වුණේ මුල්ලේරියාව ගල්වාන පුරාණ රජමහා විහාරස්ථානයේදීයි. අධ්‍යාපනය ලබන භික්‍ෂූන්වහන්සේට ධර්ම ග්‍රන්ථ කට්ටල පිරිනැමීම මෙන්ම සාමණේර භික්‍ෂූන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර පිරිනැමීම මෙහිදී සිදුකෙරුණා.
The post උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි appeared first on ITN News.