හම්බන්තොට දිස්ත්රික්කයේ වගා හානි අක්කර 4479ක් දක්වා ඉහළ යයි
මෙම යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන්ට බලපෑ නියඟය තත්ත්වය හේතුවෙන් පසුගිය 01 දිනය වනවිට වාර්තා වී ඇති වගාහානි ප්‍රමාණය අක්කර 60,503.92ක් ලෙසත් හානියට පත් ගොවීන් ප්‍රමාණය 55,951ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
2023.09.01 දින වනවිට නියඟය හේතුවෙන් සිදුවන වගා හානි ප්‍රමාණය පිළිබඳ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී තිබෙනවා.
එම වාර්තාව සළකා බලන විට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වගා හානි ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව පෙනී යයි.
ඒ අනුව මේ වනවිට හම්බන්තොට දිස්ත්රික්කයේ වගා හානි ප්‍රමාණය අක්කර 4479.25 දක්වාත්, ගොවීන් ප්‍රමාණය 3696 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
නමුත් තවමත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,644.40කි.
ගොවීන් ප්‍රමාණය 32,144ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
දෙවන ස්ථානයට උඩවලවේ කලාපය වාර්තාවන අතර එහි අක්කර 14,667.50ක් වගා හානි සිදුවී ඇති අතර ගොවීන් ප්‍රමාණය 5867කි.
මීට අමතරව රත්නපුර අක්කර 1719 ( ගොවීන් 2517), මාතලේ අක්කර 1496 (ගොවීන් 2225), පොලොන්නරුව අක්කර 1256 ( ගොවීන් 482ක්) වශයෙන් වාර්තා වී තිබෙනවා.
මේ අතර පසුගිය සිකූරාදා (01) මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති උත්සවයක් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ නියඟය හේතුවෙන් යම් වගාහානී ප්‍රමාණයක් සිදුවී ඇතත් රට තුළට ලබන මහ කන්නයේ අස්වැන්න නෙළා ගන්නා තෙක් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් සහ වී තොග රට තුළ පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
මේ අතර දැනට පවතින වර්ෂාව හේතුවෙන් අස්වනු නෙලා ගැනීමට ආසන්න අවස්ථාවේ තිබු හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක් ජලයෙන් යටවී ඇති බවත් වාර්තාවේ.
ඒ සම්බන්ධවත් අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නා.
The post හම්බන්තොට දිස්ත්රික්කයේ වගා හානි අක්කර 4479ක් දක්වා ඉහළ යයි appeared first on ITN News.