රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අනුමත කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් අනුමත වුණා.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සදහා කමිටුවේ බහුතර අනුමැතිය හිමි වුණා.
මෙහිදී කාරක සභා සභාපතිවරයා සහ කාරක සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් නියම කර ඇති පරිදි 30% ක බදු වැඩිවීම අදාළ වන්නේ බැඳුම්කර කළඹේ (bond portfolio) පොලී ආදායමට පමණක් බව මහ බැංකුවේ නිලධාරීහු පැහැදිලි කළා.
තවද, විශ්‍රාම අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (DDO) සඳහා සහභාගී වන අවස්ථාවකදී, මෙය 14% දක්වා අඩු වන බව ද පෙන්වා දුන්නා.
2025 දක්වා 12% ක ප්‍රතිලාභයක් සහ ඉන් පසුව 9% ක ප්‍රතිලාභයක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ට සහභාගී වන විශ්‍රාම අරමුදල් වෙත සහතික කිරීමට මහ බැංකුවට ඇති හැකියාව ද කමිටුව ප්‍රශ්න කළා.
ඊට ප්‍රතිචාර වශයෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ එක් එක් සාමාජිකයා වෙත නැවත ලැබීම සහතික කළ නොහැකි වුවද යෝජිත ප්‍රතිලාභය සාක්ෂාත් කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බවයි.
මෙම අනුපාතය පවත්වා ගැනීමට නොහැකි වුවහොත් යෝජිත ප්‍රතිලාභය 2025 දක්වා සහතික කිරීම සඳහා භාණ්ඩාගාරය මැදිහත් විය යුතු බවට දැනට සාකච්ඡාවක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ධනාත්මක ප්‍රතිලාභයක් සහතික කිරීම සඳහා උද්ධමනය ගැලපුම් පොලී අනුපාතිකයක් සලකා බැලිය යුතු බව කමිටුවේ අදහස වුණා.
සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන්නේ නම්, EPF බැඳුම්කර කළඹට සිදුවන අවස්ථා අලාභය 4%ක් බවද මහබැංකු අධිපතිවරයා අනාවරණය කළා.
කෙසේ වෙතත්, සේවක අර්ථසාධක අරමුදල සහභාගී නොවීමට තීරණය කළහොත්, දේශීය ආදායම් පනත් කෙටුම්පතේ නවතම සංශෝධනයට අනුව 30% ක ඉහළ බදු අනුපාතයක් හේතුවෙන් බැඳුම්කර කළඹට ඇති අවස්ථා අලාභය 21% දක්වා වැඩිවනු ඇත.
මීට අමතරව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (DDO) සඳහා සුදුසුකම් නොලබන සියලුම විශ්‍රාම අරමුදල් 30% ක බදු වැඩි කිරීමකට යටත් වන බැවින් අනාගතයේ දී නව විශ්‍රාමික අරමුදල් පිහිටුවීම අධෛර්යමත් විය හැකි බව නිරීක්ෂණය කර තිබෙනවා.
තවද, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ ලැයිස්තුගත කර ඇති බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා නම් කිරීම පිළිබඳව කමිටුව සුබ පැතුම් එක්කළ අතර, පැමිණ සිටි නිලධාරීන්ගේ ප්‍රයත්නය ද ඇගයීමට ලක් කළා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, (ආචාර්ය) සුරේන් රාඝවන්, (වෛද්‍ය) සීතා අරඹේපොල, අනුප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, පාඨලී චම්පික රණවක, චන්දිම වීරක්කොඩි,නිමල් ලන්සා, සුමිත් උඩුකුඹුර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, ප්‍රේම්නාත් සී. දොලවත්ත, සහන් ප්‍රදීප් විතාන සහ මධුර විතානගේ යන මහත්වරු මෙම කමිටු රැස්වීමට සහභාගී වුණා.
The post රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අනුමත කරයි appeared first on ITN News.