අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී දමිළ ජාතික රැඳවියකු බය කළ සිද්ධියට ලොහාන්ට ඇප ලැබෙයි
බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත්‍රී කාලයේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රඳවා සිටි දමිළ ජාතික රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කර තිබෙනවා.
සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ පවතින මෙම නඩුව 2024 වසරේ ජනවාරි මස 4 වන දින මුල් වරට විභාගයට ගැනීමටද තීන්දු කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවා.
මේ අතර මෙම නඩුවේ පළමු සාක්සිකාර පූබාර සිංහන් සූරියපාලන් සහ දෙවන සාක්කි කාර මනියරාසන් සුලක්ෂන් යන දෙදෙනාට ද නඩුවට අදාළ සාක්ෂි ලබා දීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද තවදුරටත් නියෝග කෙරිණ.
අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙලෙස නියෝග කළේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි පුබාර සිංහන් සූරිය පාලන් නැමති දමිළ ජාතික රැඳවියා දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධි බිය වැද්දීමක් සිදු කර ඇති බව පවසමින් කොළඹ අපරාධ කොට්ඨාශය සැකකාර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අනුරාධපුුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
අධිකරණය මීට පෙර ලබාදී තිබූ නියෝගයකට අනුව පළමු වතාවට සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද විවෘත අධිකරණයේ පෙනී සිටියා.
මෙහිදි සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පවතින චෝදනා අධිකරණය මගින් කියවා දීමෙන් අනතුරුව තමන් එම සියළු චෝදනාවන්ට නිවැරදිකරු බව සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඞ්ස් මහතා මගින් අධිකරණයට දන්වා තිබුණා .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාශය ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවේ කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු වන පුබාර සිංහන් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධි බියවැද්දීමක් සිදු කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දන්ඩ නීති සංගශ‍්‍රයේ 183 වගන්තිය ප‍්‍රකාරව ප‍්‍රමාණවත් සාක්කි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි.
ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප‍්‍රකාරව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට එරෙහිව ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 486 වන වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝදනා පත‍්‍රයක් ගොනු කරන බවද කොළඔ අපරාධ කොට්ඨාශට තවදුරටත් අධිකරණයට සැළ කර සිටියා.
සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විසින් මෙම වරද සිදු කර ඇති බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගාර නිලධාරීන් සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනෙක් මෙම නඩුවේ සාක්සිකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටියා.
The post අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී දමිළ ජාතික රැඳවියකු බය කළ සිද්ධියට ලොහාන්ට ඇප ලැබෙයි appeared first on ITN News.