ඊශ්රායල හමාස් ගැටුමෙන් මාධ්යවේදීන් 22 ක් මරුට
සති දෙකකට පෙර ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු හමාස් සංවිධානය පළමු වරට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර තිබෙනවා.
කටාර් රාජ්‍යයේ සහාය ඇතිව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ. ඇමෙරිකා ජාතික ජූඩිත් හා නටාලි රානන් නමැති මවක හා දියණියක මෙලෙස නිදහස් කර තිබෙනවා. ඔවුන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සමග දුරකතනයෙන් කතාකරන ඡායාරූප ද මාධ්‍යයේ පළ වී තිබෙනවා. පසුගිය 7 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ හාරදහසකට වැඩි පිරිසක් මිය ගියා. ඒ අතුරින් එක්දහස් හාරසියයකට අධික පිරිසක් ඊශ්‍රායල ජාතිකයන් වනවා.
මේ අතර ඊශ්‍රායල හමාස් ගැටුම්වලින් මාධ්‍යවේදී විසිදෙදෙනකුට ජීවිත අහිමි වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. පලස්තීන ජාතිකයන් 18 දෙනෙක් ඊශ්‍රායල ජාතිකයන් තුන්දෙනෙක් හා ලෙබනන් ජාතිකයෙකු ඊට ඇතුළත්. එම මරණවලින් 15 ක්ම සිදුව ඇත්තේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින්.
තවත් මාධ්‍යවේදීන් අටදෙනෙකු තුවාල ලබා ඇති අතර තුන්දෙනෙකු අතුරුදන්ව ඇතැයි බී බී සී පුවත් සේවය වාර්තා කරනවා.
මේ අතර පසුගිය සතිය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට මාරාන්තික සතියක් බවට පත්ව තිබුණා. ඊට හේතුව ගැටුම්වලින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ පසුගිය සතියේ දී වීමයි.
මේ අතර ගාසා තීරයේ රෝහල්වල කටයුතු ඉන්ධන නොමැතිවීම නිසා අඩාල වීමත් සමග ඒවා වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම සදහා සහාය දෙන ලෙසයි. ගාසා තීරයේ රෝහලේ පිපිරීමට හේතුව පලස්තීන රොකට් ප්‍රහාරයක් බව ප්‍රංශ බුද්ධි අංශ පවසනවා.
මෙම රෝහලේ පිපිරීමට ඊශ්‍රායල ප්‍රහාරයක් හේතු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ප්‍රංශ හමුදා බුද්ධි ඒජන්සිය පවසනවා. රෝහලේ මාරාන්තික පිපිරීමට හේතුව පලස්තීන රොකට් ප්‍රහාරයක් වැරදීමෙන් එල්ල වීම බවයි ප්‍රංශ හමුදා බුද්ධි අංශ නිගමනය කර ඇත්තේ.
මිලිටරි බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළේ කිලෝග්රෑම් 5 ක පමණ පුපුරණ ද්‍රව්‍ය මෙම පලස්තීන රොකට්ටුවට ඇතුලත්ව තිබී ඇති බවයි. කෙසේ වෙතත් පලස්තීන බලධාරීන් මෙම පිපිරීම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් බවට චෝදනා කරනවා.
ගාසා තීරයේ මීළඟ විශාල තර්ජනය කොලරාව ඇතුළු බෝවන රෝග බවට සෞඛ්‍ය සංවිධාන අනතුරු අඟවනවා. මානුෂීය සංවිධාන අනතුරු අඟවන්නේ ආධාර ලබා නොදුනහොත් ජලයෙන් ඇතිවන මාරාන්තික රෝග ශීග්‍රයෙන් පැතිර යනු ඇති බවයි.
බොහෝ ගාසා වැසියන්ට ගැටුම් හේතුවෙන් නිදා ගැනීමට සිදුව ඇත්තේ වීදිවල, සාප්පු වල, මුස්ලිම් පල්ලිවල හෝ ඔවුන්ගේ මෝටර් රථ තුළයි. පානීය ජලය සීමා වීමද ගැටළුවක්.වර්ග මීටර් 200 ක නිවාසයක ඇතැම් විට 100 දෙනෙකු පමණ පිරී ජිවත් වීමට සිදුව තිබෙනවා. මල අපවහන පද්ධති පවා ගුවන් ප්‍රහාර නිසා විනාශ වී තිබෙනවා.
ජල පිරිපහදු ක්‍රියා විරහිත අතර ආහාර හිඟකමින් ද ඔවුන් පෙලෙනවා .
ඊජිප්තුවේ සිට රෆා දේශ සීමා හරහා ගාසා තීරයට ගමන් කරන සුදු කොඩි සහිත එක්සත් ජාතීන්ගේ රථ පෙළක දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළා. මේ අතර ගාසා තීරයේ ගැටුම් ඇති වූ පසු පළමු වරට ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට අද ඇතුළු වුණා.
The post ඊශ්රායල හමාස් ගැටුමෙන් මාධ්යවේදීන් 22 ක් මරුට appeared first on ITN News.