කුළුබඩුවල ප්රමිති සහතිකකරණ වැඩපිළිවෙළ දෙසැම්බර් සිට
ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා ඉහළ ඉල්ලුමක් ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ පැවැතියත් මෙතෙක් අප රටේ කුළුබඩුවල ප්‍රමිතිය සහතික කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවීය.
මේ නිසා සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදනකරුවන්ට මෙරට කුළුබඩු අපනයනය සඳහා කටයුතු කිරීමේ දී මහත් දුෂ්කරතාවලට මුහුණ දුන්නා.
මෙම කාරණය සම්බන්ධව සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු කර්මාන්තයේ නියැළෙන්නන් තමන් මුහුණ පා සිටින ගැටළුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව අපේ රටේ කුළුබඩු සැකසුම් කර්මාන්තයේ යෙදී සිටින සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ගේ කුළුබඩු නිෂ්පාදන සඳහා ප්‍රමිතිය සහතිකකිරීමේ වැඩ පිළිවෙළක් වහාම ආරම්භ කරන අමාත්‍යවරයා ජාතික කුළුබඩු සංස්ථාවට උපදෙස් දෙනු ලැබුවා.
ඒ අනුව අන්තර් ජාතික පිළිගැනීමක් සහිත සිංගප්පුරුවේ SGS Institute ආයතනය හා එක්ව ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් අත්සන් කිරීමට ජාතික කුළුබඩු සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේ සිට මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදනකරුවන් සියලු දෙනා මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය වන බව එම සංස්ථාවේ සභාපතිනි කුමුදිනී ආර්යා ගුණසේන මහත්මිය සඳහන් කළා.
ජාතික කුළුබඩු සංස්ථාව, හැටන් නැෂනල් බැංකුව හා SGS Institute ආයතන එක් ව මෙම ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.
කුළුබඩු ප්‍රමිති සහතිකකරණය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් ද සහභාගි වුණා.
මෙරට ප්‍රධාන වැවිලි බෝගවල ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිතා කරයි.
නමුත් ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම නිසා Sri Lanka Spice සන්නාමයට බරපතල හානි සිදු කර ඇතැයි අමාත්‍යවරයා පැවසුවා.
එමනිසා මෙම කුළුබඩු සහතිකකරණ වැඩපිළිවෙළ දෙසැම්බර් දෙවැනි සතියේ අදාල ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරන අතර ඉන්පසු එම සහතිකය සහන මිලකට නිෂ්පාදන කරුවන්ට ලබා ගත හැකියි.
එමෙන්ම මෙම සහතිකය අන්තර්ජාතිකව පිළිගන්නා සහතිකයක් බැවින් කිසිදු බාධාවකින් තොරව මෙරට සුළු හා මධ්‍යම පරිමාණයේ කුළුබඩු කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳපළට අපනයනය කිරීමේ හැකියාව ලැබෙනවා.
The post කුළුබඩුවල ප්රමිති සහතිකකරණ වැඩපිළිවෙළ දෙසැම්බර් සිට appeared first on ITN News.