ශ්රී ලාංකීය බතික් කර්මාන්තයට නව මුහුණුවරක්
තිරසාරභාවය සහ පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි ඇති ගෝලීය අවධානය මත හරිත නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩිවෙමින් පවතිනවා.
එබැවින් පුනර්ජනනීය සම්පත් වලින් ලබාගන්නා ස්වභාවික වර්ණක වලින් සාදන ලද රෙදිපිළි සඳහා වර්ධනය වන වෙළඳපොළක් පවතිනවා.
පවතින දත්ත අනුව ගෝලීය ඇඟලුම් වෙළඳපොලේ ආදායම 2023 දී ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 1.7 කට වඩා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
එහිදී 2023 දී ඇමරිකන් ඩොලර් බිලියන 7.80 ක ගෝලීය තිරසාර විලාසිතා වෙළඳපොළ 22.9% සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් සහිතව 2030 වසර වනවිට ඇමරිකන් ඩොලර් 33.05 පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේදී පාරිභෝගික රුචිකත්වය වර්ධනය කිරීම උදෙසා වර්ණ භාවිතය වැදගත් සාධකයක් වන අතර උසස් තත්වයෙන් යුතු ස්වභාවික වර්ණ යොදාගැනීම මෙයට පිටුවහලක් වෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මඟ පෙන්වීම යටතේ නිසි ප්‍රමිතියෙන් යුතු ස්වභාවික වර්ණක නිෂ්පාදනය කිරීම හඳුනාගෙන එය වානිජකරණය කිරීම දක්වා මෙම කර්මාන්තය දියුණු කිරීමේ අදහස ඇතිව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කර්මාන්ත අමාත්‍යංශය සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.
මෙයට අදාළ පර්යේෂණ කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සම්බන්ධ කරගැනීමට අදහස් කර ඇති අතර එය කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ මෙහෙයවීම යටතේ සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
ආරම්භ කිරීමේ පියවර ලෙස මෙම ආයතන අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ අත්සන් කළා.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවාසය සංවර්ධන අංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල මිය, අධ්‍යක්‍ෂ බුද්ධික ලක්මාල් මහතා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග මහතා, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වජිර පෙරේරා මහතා සහ එම ආයතන වල කාර්ය මණ්ඩලය මෙයට සහභාගී වුණා.
මෙහිදී දැනට සිදුකෙරෙමින් පවතින නිෂ්පාදනයක අතුරු ඵල ලෙස ඉවතලන ශාක සාර අවශේෂ අමුද්‍රව්‍ය ලෙසා භාවිතා කරනු ලැබෙනවා.
එමගින් පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලාංකීය වෙළඳපොළට හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකීය බතික් කර්මාන්තයට නව මුහුණුවරක් ලබාදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරෙනවා.
The post ශ්රී ලාංකීය බතික් කර්මාන්තයට නව මුහුණුවරක් appeared first on ITN News.