රිවොල්වරයක් සමඟ කටුනායකදී විදේශිකයෙකු අත්අඩංගුවට
රිවෝල්වරයක් නීතිවිරෝධී ලෙස එංගලන්තයට රැගෙන යාමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රිවෝල්වරයක්, එයට යොදන ජීව උණ්ඩ 10 ක්, රම්බෝ වර්ගයේ පිහියක් සහ අජීවි උණ්ඩ 05 ක් නීතිවිරෝධී ලෙස රැගෙන එංගලන්තය බලා යාමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (22) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙවැනි ගිනි අවි, පිහි ගුවන් මගින් රැගෙන යාම තහනම් කටයුත්තක් වන අතර එසේ රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යානුකූල අවසරය ලබා ගත යුතුය .
පාකර් රොබට් මයිකල් නැමැති මෙම 54 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා අද (22) දින දහවල් එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර ( Scan ) පරීක්ෂාවකට ලක් කිරීමේ දී මෙම අවි සහ උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
ඒ අනුව මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණි අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.
ගුවන් තොටුපොළ පොලිසිය වෙත රැගෙන ගිය මෙම ගුවන් මගියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තම ආච්චි විසින් තමන්ට මෙම රිවෝල්වරය කෞතුක භාණ්ඩයක් ලෙස පරිත්‍යාග කළ එකක් බව පවසා තිබේ .
මෙම ගිනි අවිය, රම්බෝ පිහිය සහ උණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, මෙම ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත පොලිස් කොස්තාපල් 85188 දිලංග මහතා විසින් සිදු කරමින් සිටිති .
The post රිවොල්වරයක් සමඟ කටුනායකදී විදේශිකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.