ශ්රී ලංකාව පළමු වරට ආසියාවේ යොවුන් ක්රීඩකයන් අතර 3 වැනි ස්ථානය දිනා ගනී
රටවල් 38ක් සමඟ තරඟ වැදී ශ්‍රී ලංකාව පළමු වරට ආසියාවේ යොවුන් ක්රීඩකයන් අතර 03 වැනි ස්ථානය දිනා ගනී.
මෙවර ආසියානු යොවුන් චෙස් තරඟාවලිය පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් අයින් නුවර යි.
එය පසුගිය දෙසැම්බර් 14 දින සිට 21 දින දක්වා පැවැත්වුණා.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ව රටවල් 38ක් සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟකරුවන් සහ තරඟකාරියන් 26 දෙනෙකු සහභාගී වී තිබෙනවා.
එම තරගකරුවන් හා තරඟකාරියන් වයස අවුරුදු 08, 10,12,14,16 යන වයස්කාණ්ඩවල පසු වූ අයවළුන් විය.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය නියෝජනය කරමින් පාසල් මට්ටමින් තරඟයට සහභාගී වූ මෙම බාලක සහ බාලිකා පිරිස ඒකල සහ කන්ඩායම් වශයෙන් පැවති තරඟාවලි සඳහා ඉදිරිපත් වී තිබෙනවා.
මෙහි පැවති ඉහළ ම තරඟයක් වූ 18 පහළ බාලක තරඟාවලියෙන් රන් පදක්කම දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසල් තේජාන් ද සිල්වා ශිෂ්‍යා සමත් වී තිබෙනවා.
වයස අවුරුදු 12න් පහළ බාලිකා තරගාවලියෙන් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශිෂ්‍යාව දෙවන ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් ව තිබෙනවා.
කණ්ඩායම් තරගාවලියේ දී වයස අවුරුදු 18පහළ බාලිකාවන් ද, වයස අවුරුදු 16න් පහළ බාලක කණ්ඩායම ද රිදී පදක්කම් 02ක් දිනාගෙන තිබෙනවා.
වේගරිද්ම සහ අධිවේගී තරගාවලියේ දී, කණ්ඩායම් තරඟ සඳහා අවුරුදු 16න් පහළ කණ්ඩායම රිදී පදක්කමක් ද අවුරුදු 18 පහළ කණ්ඩායම ලෝකඩ පදක්කමක් ද දිනාගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන් ම මෙම තරඟාවලියට සහභාගී වූ රටවල් 37 සමග අභියෝගාත්මක සහ තීරණාත්මක තරගවටවල යෙදුණු ශ්‍රී ලංකා බාලක බාලිකාවන් පළමුවරට ආසියාවේ යොවුන් ක්රීඩකයන් අතර 03 වැනි ස්ථානයට දිනා ගැනීමට සමත් වුණා. එහි පළමු තැන ඉන්දියාවත් දෙවන තැන චීනයත් විසින් දිනාගෙන තිබෙනවා.
චෙස් ක්‍රීඩාව සදහා ලෝක ප්‍රසිද්ධ කසකස්තානය, උස්බෙකිස්තානය, වියට්නාමය, මොංගෝලියාව යන රටවල් අභිබවා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබීම මෙහි විශේෂත්වයක්.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් වූයේ ශ්‍රීලංකා චෙස් සම්මේලනය යටතේ ය.
එහි සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා මාධ්‍යට පැවසූ පරිදි ශ්‍රීලංකාවෙන් බිහි වන පළමු ග්‍රෑන්ඩ්මාස්‍ටර්වරයාට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රීලංකා චෙස් සම්මේලනය සැලසුම් කර තිබෙනවා.
මෙම ජයග්‍රාහී බාලක බාලිකාවන් ඊයේ රාත්‍රී 08:30ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට යළි පැමිණියා.
මෙම පිරිස පිළිගැනීම සඳහා දෙමාපියන් ගුරුභවතුන්, සුභපතන්නන්, ශ්‍රීලංකා චෙස් සම්මේලනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපළ අමුත්තන් පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියා.
The post ශ්රී ලංකාව පළමු වරට ආසියාවේ යොවුන් ක්රීඩකයන් අතර 3 වැනි ස්ථානය දිනා ගනී appeared first on ITN News.