අපේ පවුලේ ප්රශ්නය
ශ්‍රීනාත් අබේසිංහ –
අපේ අම්මා හවුස් වයිෆ්, තාත්තා පැන්‍ෂන්. ඉන්නේ කුලී නිවසක. ඉඩ කඩම් දේපළ නැහැ. පවුලේ සාමජිකයින් 13 යි. අම්මායි තාත්තායි එක්ක අපි ඔක්කොම 15 යි. හරි ශක්තිමත් පවුලක්.
අපේ පවුලේ අයට නම් දාලා තියෙන්නේ හරි අමුතු විදියට. ඒ ගැන ඕගොල්ලන් කරදර වෙන්න එපා.
අපේ පවුලේ දෛවඥයා හරියටම උපන් වෙලාව බලලා අපේ සහෝදර සහෝදරියන්ට නම් දාලා තියෙනවා ටක්කෙටම. හැමෝටම නමට ගැලපෙන රැකියාව හම්බ වෙලා තියෙනවා. පුදුමයන් ගැන වැඩි තැකීමක් නැති මට වුවත් මෙහි පුදුමයක් ඇතැයි සිතෙනවා.
ලොකු අයියාගෙ නම හරිතප්‍රිය. ගොවිතැනෙහි නිරතයි. දෙවෙනියා සිදුරාජ. කුලී ධීවර බෝට්ටුවක වැඩ. ලොකු අක්කා ශිල්පානි. එයා උපාධිධාරී ගුරුවරියක්. තුන්වෙනි අයියා මාතලී. හයර් එකට ගත්තු ත්‍රී වීලරයක හයර් දුවනවා. දෙවෙනි අක්කා පේෂාලී. ගාමන්ට් එකක සුපර්වයිසර්වරියක්. ඊලඟ අයියා විදානපති. රාජ්‍ය දෙපාර්තමේන්තුවක විධායක නිලධාරියෙක්. ඊට බාල අයියා සුරත්. රාජ්‍ය මණ්ඩලේක කණිෂ්ට කාර්මික නිලධාරියෙක්. ඊට බාල අක්කා විද්‍යා. එයා රජයේ වෛද්‍යවරියක්. එයා එක විදියක්. ඒ ළඟ අයියා ප්‍රව්දා. වෘත්තීය සමිතියක නායකයෙක්. ඊලඟ අක්කී විවේකා. ඇය රැකියාවක් කරන්නේ නැහැ.
මම විශ්වා. පවුලේ ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යාව. මට නම් මහපොල හම්බ වෙනවා. ගොඩක් පොෂ් නොවුනට මට උරුමෙන් ලැබිච්ච ලස්සනක් තියෙනවා කියලා අපේ පවුලේ අය විතරක් නෙවෙයි, අනෙක් හැමෝමත් කියනවා. ඒක අම්මගේ ලස්සනට තාත්තාගෙනුත් මොකක්දෝ එකතු වෙලා ආපු ලස්සනක් කියන්නේ, පවුලේ කට්ටිය. මට සිංදු කියන්නත් පුළුවන්. කැම්පස් එකේ කොල්ලො මට වහ වැටිලා. සහෝදරයෝ, දේශපාලන තියරි කතා කරන්න එන්නෙත් මාත් එක්ක. ඔන්න එතකොට ඔක්කොම සහෝල ටික එතනට සෙට් වෙනවා. එතනින් අමාරුවෙන් ගැලවිලා ලයිබ්‍රියට පැන ගත්තම කුල්ටන්ගෙන් බේරෙන්න බැහැ. මාත් ෂේප් වෙලා හැමෝ එක්කම සහෝදර ප්‍රේමයෙන් ඉන්නවා. කවුරුත් තරහත් නොවෙන, කවුරුත් කරදරයකුත් නොකරන, කවුරුත් ඕනෙවට වැඩිය ළං වෙන්නෙත් නැති ගුප්ත ලස්සනක් තියෙන මුදු සිනාවක් මට කොහෙන්දෝ දායාද වී තියෙනවා. ඒකෙන් ගැටගහ ගෙන මාත් ලෙක්චර්ස් යනවා එනවා. මැනේජ්මන්ට් ෆැකල්ටියේ හින්දා හොඳ රස්සාවක් ලැබෙයි කියලත් හිතෙනවා. ඔය මොනවා හරි ලැබෙන දෙයක් කරනවා කියලත් හිතෙනවා. සමහර විට ෆයිට් කරනවා. සමහර විට අත ඇරලා දානවා. හබල නැති ඔරුවක් වගේ. පැද්දී පැද්දී ඔහේ තියෙනවා. විටෙක හබලක් ලැබිලා යම් පැත්තකට යනවා. ආයේ නවතිනවා. දන්නෙම නැතිව මාත් රූස්ස ගහක් වෙයිද දන්නේ නැහැ. එක්කෝ වාසනාව. එක්කෝ කරුමය. දෙකටම ඔට්ටුයි කියලා තමයි දැන් හිතෙන්නේ. ඒ ධෛර්යයත් හරි අභ්‍යන්තරිකයි, ආවේගශීලියි. විටෙක සැලෙන සුළුයි. අම්මවයි, තාත්තවයි විතරක් ගොඩ දාන්නත් බැහැ. එතකොට අනික් අය? ඔක්කොමලා ගොඩ දාන්න ගියොත් මගේ කොන්ද යයි. මං පඬියා වෙන්න යනවා කියයි අනෙක් අය.
ගෙදර තියෙන එකම කැඩපත ළඟම ඉන්න මා ගාව නංගී ශික්‍ෂා. තවම ඉස්කෝලේ යනවා. මල්ලියා ඉස්කෝලෙන් පැන්නා, එයාගෙ නම රස්තා. එයාට රස්තියාදු කියලම නම දාන්නයි තිබුනේ. විද්‍යා අක්කාගෙන් ටොකු කන එකමයි එයාගේ වැඩේ. හැමෝටම කඩේ යන්නෙත් මෙයාම තමයි.
අපි එක් එක්කෙනාගේ තියෙන වෙනස්කම් දැක්කම හරි පුදුම හිතෙනවා. තම ශ්‍රමයෙන්ම, දාඩිය මාන්සියෙන්ම පවුලට කැප වූ ලොකු අයියලා අද අවලංගු කාසි වගේ. කිසිත් කර ගත නොහැකිව මහ පවුලටම දිරලා. මොළකාරී විද්‍යා වැඩි යමක් පවුල වෙනුවෙන් නොකෙරුවත් පවුලේ අය බය කරගෙන වගේ ඉන්නේ. එයාට ලැබෙන දේට සාපේක්‍ෂව එයා පවුලට දෙන්නේ සොච්චමයි කියලයි මට හිතෙන්නේ. අනෙක්වා එයා ගොඩ ගහ ගන්නවා ඇති එයා සිහින දකින අනාගතයට. විදානපති හා සුරත් අයියලාට මොළේ විතරයි. ඇති කෙහෙල්මලක් නැහැ. නිකං කටින් බතල තමයි. ප්‍රව්දා අයියා කොහොමත් කට මැතම තමයි. එයා නේටෝවෙ කෙනෙක්. නෝ ඇක්‍ෂන් ටෝක්ස් ඔන්ලි.
දැන් අපේ පවුලේ ආදායමට වඩා වියදම වැඩියි. ඔක්කොමලා එකට කන්නේ රෑට විතරයි. ඒකට ඉතිං 15 දෙනෙක් ඉන්නවානේ. ස්ථිරවම ලැබෙන ආදායම, අම්මට ලැබෙන තාත්තාගෙ පෙන්‍ෂන් එක. විද්‍යා අක්කාත්, විදානපති සහ සුරත් අයියලාත් ඒගොල්ලන් ගේ ආදායම හංගනවා. ඒකට අපිට දොස් කියන්නත් බැහැ, දොස් නොකියත් බැහැ. ප්‍රව්දා අයියගේ අතේ පිච්චිය නැහැ. ඒ වුනාට කම්කරු සංහතියෙම පඩි වැඩි කර ගන්නවා කියලා හැමදාම කියවනවා. මාතලී අයියා ගෙට ගොඩවෙන කොටම මට බියර් ගඳක් දැනෙනවා. මම කැම්පස් එකේදි බියර් බීලා තියෙනවා, සහෝල දීලා. උන් කොහොමත් බෙදා හදා ගෙන කන එවුන්. උන් පොළොවේ පය ගහලා ඉන්න එවුන්. කොහොමටත් උන් ඉන්නේත් බොක්කෙන්මයි. කුල්ටෝ සෝෂල් වුනාට එහෙම සෝෂල් නැහැ. ඒ ගොල්ලෝ බියර් බෙදාගෙන බොන්නේ නැහැ. උගුරක් බොන්න වීදුරුවක්ම වක්කර ගන්නේ ඇයි? ඒ හින්දා, ඒ අය බීර බොන තැන්වල අපි ඉන්නේ නැහැ.
අපේ පවුලේ එකම විවාහයක්වත් තවම සිද්ධ වෙලා නැහැ. ලොකු අයියලා දෙන්නා නම් දැන් යල් පැනලා මයෙ හිතේ. කුඹුරත්, මුහුදත් එක්ක හැප්පිලාම. ඒ අය දිහා දැන් නම් ගෑනු බලන එකක් නැහැ. දිරා ගිය අතුවලට නැග්ගාම තමනුත් අත පය කඩා ගන්නනේ වෙන්නේ. ඊට පස්සේ ජීවිතයම ඇනෙනවා.
විවේකා අක්කා හරිම ඩවුට්ෆුල් කැරැක්ටර් එකක්. හිටපු ගමන් මොඩ් වෙනවා නිකං ඩිෂා පටානි වගේ. හිටපු ගමන් ඉන්නේ වැදි පැටියෙක් වගේ. ඉරිච්ච ගවුමකුත් ඇඳගෙන. විද්‍යා අක්කා නම් කුල්ටි වගේ! ළඟදීම රට පනියි ද දන්නේ නැහැ. පනින්න පුළුවන් එයා පැන්නහම මොකද, මේකේ රැග් වෙන්නෙ නැතුව. හැබැයි පවුලයි, ණය තුරුස් ටිකයි අමතක නොකරනවා නම් තමයි හොඳ. ඒගොල්ලන්ට උගන්නන්න, ටියුෂන් අරින්න වියදම් කරන්න ගත්තු ණයත් තාම ගෙවලා නැනේ.
අමාරුවෙන් ගැට ගහ ගෙන ගිය අපේ පවුලට කණකොකා හැඬුවේ අපේ තාත්තා ලෙඩවුනාට පස්සෙයි. තාත්තා අපි වෙනුවෙන් වෙච්ච ණය තුරුස්වල විස්තර එළියට ආවෙත් ඉන් පස්සේ ණයකාරයෝ ගෙදරට එන්න යන්න පටන් ගත්තාම.
තවත් අපිට ණය දෙන්න කවුරුවත් එකඟ වුනේ නැහැ. හදිසියකට ණයක් ඉල්ල ගන්න පුළුවන් අය අපව මග හරින බව අපට මනාව තේරුම් ගියා. අපේ ණය හිමියන් අපව නුරුස්සන බව පෙනුනා. හිරවීම උහුලම ගන්න බැරිවුනේ යමක් කමක් කරන්න පුළුවන් විද්‍යා අක්කා පිටරට ගියාම. අප මේ ව්‍යසනයට වැටෙන බව ඇයට තේරුම් ගොස් තිබුනා. කැම්පස් එකේදි බලපු One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටිය මගේ සිහියට නැගුනා.
මල්ලී මගඩියකට අහුවෙලා හිරේ ගියා. පවුලේ සායම හේදෙන්න වුනා. එක් දිනෙක රැයක් එළිවෙන උදේ, ශික්ෂා නංගී නිදා සිටිය තැන තිබුනේ ලියුමක් විතරයි. ඈට තිබුන සැලෝලයිට් හා ඉමිටේෂන් අඩුම කුඩුම සමග ඈ ඇගේ කුල ගෙට පිවිසෙන්න ගිහින්. ඉතිං අපේ පවුලේ ඉස්සෙල්ලාම “විවාහකයි” පදවි ප්‍රාප්ත ලබන්නේ ඇයයි. සතුටු වෙන්න ඕන කාරණයක් වුනත්, හිත් ගැහෙන්නේ දුකක්. මහ පවුලේ බර අඩු වුනත්, අඩු වෙච්ච විදිය හරි නැහැ. ගෙදර විප්ලවීය වෙනසක්ම සිදුව ඇතත් විප්ලවයේ ජයග්‍රහණ සැමරුමක් නැහැ. අම්මගේ මුහුණේ දුකකුත්, බරක් බිමින් තැබුවා වාගේ හැඟීමකුත් මිශ්‍ර වෙච්ච ගතියක් පෙන්නුම් කරනවා. ඊට කියන තනි වචනය මා දන්නේ නැහැ. ඒ සෙවීමේ අවශ්‍යතාවයක්ද මට ඇත්තේ නැහැ. තාත්තා මේ ගැන දන්නා බව මම දනිමි. ඔහු නොදන්නා බව පෙන්වීමට ගන්නා උත්සාහයම ඒ ඔහු දන්නා බව යසට කියාපායි. අනාගත දිනෙක නංගී දරු පැටියෙකුත් කර ගහ ගෙන ගෙට ගොඩවන විට, එදා රෑ, උඹ දොර ඇර ගෙන යනවා මට ඇහුනා යැයි ඔහු කීමටද බැරි නැත. ප්‍රව්දා අයියා, නංගී ගැන, මොනවදෝ ස්වයං තීරණ අයිතියක් ගැන දොඩවනවා ඇසුණි. ඒ ගැන ඇසීමට ගියොත් මට දීර්ඝ දේශනයකට සවන් දීමට සිදු වනු ඇත. නංගීගේ විමුක්තිය ඇයම සොයා ගැනීම යෙහෙකි යැයි මට සිතිණි.
තාත්තාගේ බෙහෙත් බිල් හා වෛද්‍ය ගාස්තු එන්න එන්නම වැඩී යන ලෙසකි. ඒ සමගින්ම ඔහුගේ දුර්වලත්වයද වැඩී යයි. ඔහු ඇඳට සීමා වෙන බවක් පෙනේ.
වියදම් අධික ලෙස වැඩී යාමත්, ආදායම් අඩු වීමත් – දැන් විද්‍යා අක්කාගෙන් කිසිත් නොලැබෙන නිසා – ඇය ගිය දා පටන් මුකුත් ලැබුනේ නෑ – අප පවුලට ණය වාරණයක් පැනවී ඇති නිසාත්, අප ඉතා දුෂ්කර අවධියකට පත් ව ඇත්තෙමු. කල හැකි කිසිත් නොවූයෙන් තියෙන රත්තරං සොච්චම විකිණීම ඇරඹිණි. විකිණිය හැකි දේවල් සොයා බලා, ඒවායින් වැඩි පල ප්‍රයෝජනයක් මේ මොහොතේ ගත හැකි නම් ඒවා විකුණා දැමීමේ තීරණය කාගේදැයි නොදනිමි. ඒත් ඊට කිසිවෙක් එරෙහි වූයේ නම් නැත. විකුණා ලැබෙන දෙයින් අපේ පරණ ණයකරුවන්ගේ ණයවලින් කොටස් ගෙවා දැමීම මට මහත් අභිමානයක් විය. බඩගිනි දැනුණු දින තිබුනද, අභිමානයටත් තරමක් හෝ බඩ පිරවිය හැකි බවක් දැනුනි. ඒ මාගේ සිත් තුළ නලියන මගේම අනාගත සිහින නිසා වෙන්නට ඇත. වියදම් කපා දැමීම වඩත්ම දැනුනේ අපේ බඩවල්වලටය. කෙසේ නමුත් අප යළිත් හිස ඔසවන බවක්, අපට වඩා අපේ අසල්වැසියන්ට දැනී තිබිණි. ඊට ප්‍රධාන වූ කාරණය පැරණි ණයවලින් නිදහස් වීමයි. ඒ සිදුවන විට, මල්ලී හිරේ ගිය එකත්, නංගී විවාහපේක්‍ෂිතව ගෙදරින් පැන යාමත් අසල්වාසීන්ටත්, අපේ ණය හිමියන්ටත් විෂයයන් නොවීය. මෙය මට ලබා දුන්නේ කිව නොහැකි තරමේ අස්වැසිල්ලකි. මගේ අනාගතය පිළිබඳ සිහින මා සිත් ගැඹුරේ කෙතරම් පැලපදියම් වී ඇත්දැයි මටම පසක් වන්නට විය.
පවුලක් වශයෙන් අපි අපේ වියදම් අධික ලෙස කපා දැමුවෙමු. අප සැවොම කෘශ විය. නමුත් සැම දෙන තුළ අධිෂ්ඨානයක් වු බවක් පෙනුනේ සැම දෙනා නිවසේ වියදමට සතිපතා හෝ මාසිකව ලබා දෙන මුදල් ප්‍රමාණය වැඩි වීමෙනි.
මගේ මැනේජ්මන්ට් ඩිග්‍රිය මම සතුටුදායක ලෙස නිම කලෙමි. මා කෘශ වුවත් ඒ මගේ රූ සපුව හෙලීමට සමත් නොවීය. විශේෂයෙන් මවගෙන් උරුම වූ ජානමය ශක්තිය ඊට හේතු වන්නට ඇත.
පවුල ගොඩ යන බවක් දැනිණි. විද්‍යා අක්කාගෙන් ද මුදල් ලැබීමට පටන් ගැනුණේ අප ගොඩ යන බව ඇයට ආරංචි වීමෙන් දැයි නොදනිමි. ඉන් සම්මාන ලබනට ඇයද අදිටන් කර ඇති සැටියෙකි.
රැකියාවක් තවමත් මට ලැබී නැතත් මා රුව දිලීමට වන්නේ මසිත් ප්‍රමෝදය නිසා වන්නට ඇත. ඒ ප්‍රමෝදය පවුල ක්‍රමයෙන් ගොඩ යන නිසාවෙනි.
ක්‍රමයෙන් අප පවුලට උදව් දීමට ඉදිරිපත් වන අය වැඩි විය. මා අයිති කර ගැනීමේ අභිලාෂයක් ඒ උදව් පිටුපස තිබිණි. නොයෙක් දෙනා ආවේ මෙතෙක් නොවූ විරූ පොරොන්දු දෙමිනි. ඒ අතර සම වයස් කාණ්ඩයට මගේ සිත ඇදී පවතී. ඒ යුනිවර්සිටියේ අත්දැකීම් කෙරෙහි වූ බැඳීම් නිසාවෙනි. අම්මා ගෙදරටම කොටු වී සිටි තැනැත්තියක් වුවත් ඈ දැරූ මතයන්හි වලංගුභාවයක් දක්නට තිබිණි. යම් මුහුකුරා ගිය කෙනෙකු වෙත ඇගේ මනාපයක් ඇති බැව් පෙනෙන්නට තිබිණි. පුදුමයකට මෙන් විදේශිකයන් වූ භාරතීටත්, සුදු මහත්තයෙකු වූ ඉමෑෆ්ටත් ඈ කැමතිය. ඒ ඔවුන්, මා බැලීමට අප නිවසට එනවිට හිස් අතින් නේන නිසා යැයි මට සිතේ. කොහොමත් භාරතීගේ කතාව, සිනාව, ඇඟෑළුම් පෑම ළඟ ඥාතීත්වයක් සිහි ගන්වයි. ඉමෑෆ්, ඉතා මුවහත් පිහියකින් කැපූ කිරි දෝසි කෑල්ලක් වැනිය. කෙසේ වෙතත්, ඉඩ ඇත්තේ එක් අයෙකුටය. මා හට විමතිය ඇතිවන්නේ ශිල්පානි, පේෂාලී, විද්‍යා හා විවේකා යන වැඩිමහල් සෝයුරියන් සියල්ල අවිවාහකව සිටිත්දී මගේ කරටම මාලය වැටෙන්න යන එක ගැනය. අවිවාහක සෝයුරන් ගැන කතාවක්වත් නැත්තේ එක්කෝ ඔවුන් විවාපත් වූවොත් පවුලේ බර තවත් වැඩි කර දමනු ඇත; නැතිව, බැඳලා ඔවුන් ගෙදරින් පිට වූවොත් ගෙදරට ඔවුන්ගෙන් ලැබෙන් අය බර නැතිවිය හැකි නිසාය. ගේම් තියරි වගේ දෑ අපේ පවුලේ අය විශ්ව විද්‍යාලවලින් ඉගෙන නොගත්තාට ඒවා මේ කුටුම්භ තුළත් ක්‍රියාත්මක වන සැටි නම් අපූරුය. නිගමනය කල හැක්කේ අපේ පවුලේ විවාහ සිදුවන්නේ යට සිට උඩට බවය. ශික්‍ෂා කැඩපත ළඟම සිටියා වුවත් ඇගේ ආකර්ෂණීය බව පිටුපසත් තිබුනේ මව් පස ජානයන්මය. මා හට උගත්කමකුත් සමඟ වැඩි වටිනාකමක් ලැබී ඇති බව, ඒ ගැන විශේෂයෙන් කතා නොකලත් පවුලේ පොදු පිලිගැනීම බව ප්‍රකාශවන්නේ ඉබේටම වාගේය. විවාහය සම්බන්දයෙන් අපේ පවුලේ අන් අය හා මා අතරින් නිශ්ශබ්ද රේඛාවක් වැටී ඇත. ඒ නිශ්ශබ්ද රේඛාව ඕනෑම තැනකින් බිඳිය හැකි හඬක් මා සතු බව අපේ පවුල තුළ ප්‍රත්‍යක්‍ෂයකි. විවාහය ගැන මා සතුටින් සිතන්නේ ඒ සමගින් බලාපොරොත්තුවක් ජනිත කල හැකි කෙනෙක් අපේ පවුලට එක් වීමේ ඇති මහත් ඉඩකඩ නිසාවෙනි.
*කෙටි කතාව ලිව්වේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සංඛ්‍යාන අධ්‍යක්‍ෂ ශ්‍රීනාත් අබේසිංහ විසිනි.
The post අපේ පවුලේ ප්රශ්නය appeared first on Colombo Telegraph.