පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහනේ තෙවන වැඩසටහන ඌව පළාතේ දී
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (15) ඌව පළාත කේන්ද්‍ර කර ගෙන පැවැත්වුණා.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන පැවැති අතර මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන ලද තෙවන පළාත් සංවාද වැඩසටහනයි.
ඌව පළාත තුළ වෙසෙන ලක්ෂ 13කට අධික ජනතාවට මධ්‍යම රජය යටතේ පාලනය වන බදුල්ල ශික්ෂණ රෝහල සහ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල්වලින් මෙන්ම ඌව පළාත් සභාව මගින් පාලනය වන මූලික රෝහල් හයකින් සහ ප්‍රාදේශීය රෝහල් පනස් අටක්, ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක විසි හයකින් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසි හතක් මගින් සුව සේවාව සපයයි.
මෙහි දී, ඌව පළාතේ ජනතාව මුල්කරගෙන පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දරුවන් හා මවුවරුන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගම්බද ජනතාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය වැඩසටහන් දියත් කිරීම, වතුකර ජනතාව වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ක්ෂය රෝගය සදහා රෝගීන් හදුනා ගැනීමේ සහ ප්‍රතිකාර සිදු කිරීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම, ලිංගාශ්‍රිත රෝග පිළිබදව ජනතාව දැනුවත් කිරීම, හඳුනාගැනීම, ප්‍රතිකාර ශක්තිමත් කිරීම, ඌව පළාත් තුළ පවතින වකුගඩු රෝගී තත්ත්වය හා එම රෝගීන්ට ප්‍රතිකාර සිදු කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීම, ප්‍රවාහන පහසුකම්, රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින සෞඛ්‍ය වෘත්තික හිඟයට විසදුම් ලබාගැනීම, සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම, මානව හා භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ අතර ඒ සඳහා විසඳුම් ලබාගැනීම ද සිදුවුණා.
මෙහි දී අමාත්‍යවරයා විසින් ඌව පළාතේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින්නේ ද යන්න පිළිබඳව විමසීමක් සිදු කළ අතර, රෝගී ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය වන ඖෂධ රෝහල්වල පවතින බව වෛද්‍ය පරිපාලකයෝ මෙහි දී සඳහන් කළා.
මෙම සාකච්ඡාමය අවස්ථාවෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ මධ්‍යම රජය, පළාත් සභාව වශයෙන් රෝහල් වෙන් කර කටයුතු නොකරන බවත්, සියලු දෙනා එක්ව විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දිය යුතු බවයි.
The post පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහනේ තෙවන වැඩසටහන ඌව පළාතේ දී appeared first on ITN News.