අලුත් අවුරුදු සමයේ හිඟයකින් තොරව කුකුල් මස්
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ දී පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව කුකුළු මස් ලබා දීමට ඇති හැකියාව සම්බන්ධව ඊයේ (12) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, දැනට කුකුළු මස් කර්මාන්තයේ යෙදී සිටින ප්‍රධාන සැපයුම්කරුවන්, නිෂ්පාදකයින් මෙන්ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් ද සහභාගි වුණා.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට රට තුළ කුකුළු මස් නිෂ්පාදනය සම්බන්ධව පවතින තත්ත්වය එම කර්මාන්තකරුවන්ගෙන් විමසීමක් කළා.
ඒ අනුව දැනට සියලු කුකුළු ගොවිපොළවල උපරිම මට්ටමෙන් කුකුළන් සිටින බවත්, උත්සව සමයේ පමණක් නොව ඉන් අනතුරුව වුවත් රට තුළ කිසිදු අයුරකින් කුකුළු මස් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව එම කර්මාන්තකරුවන් පැවසුවා.
එමෙන්ම දැනට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක නිෂ්පාදනය සඳහා වැය වන මුදල සළකා බලා මස් කිලෝ ග්‍රෑම් රුපියල් 1150කට සැපයීමට අපේක්ෂා කරන බවත්, මෙම මිල ගණන් ඉදිරි කාලය තුළ තවදුරටත් අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් පැවසුවා.
ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරමින් රට තුළ කිසිදු අයුරකින් කුකුළු මස් හිඟයක් ඇති නොවෙන බවත්, අවශ්‍ය තරම් කුකුළු මස් වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බවටත් පොරොන්දු වුණා.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු මස් හා බිත්තර මිල සම්බන්ධව මහජනතාව දැඩි අවධානයකින් සිටින බවත්, ඒ නිසා අවම මිලක් යටතේ කර්මාන්තකරුවා, පාරිභෝගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂාවන අයුරින් කුකුළු මස් සැපයීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස දැනුම් දුන්නා.
රජය විසින් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයින්ට සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට බලපත් පවා ලබා දීමට කටයුතු කළේ සහන සැලසීමෙන් අරමුණින් බව ද අමාත්‍යවරයා පැවසුවා.
The post අලුත් අවුරුදු සමයේ හිඟයකින් තොරව කුකුල් මස් appeared first on ITN News.