වෘත්තීය පුහුණුව නැති, වෘත්තීය කරන අයට සහතිකපත් ?
නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් හැදීම අපේක්ෂා කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන වැඩසටහන අති සාර්ථකව කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී මාර්තු 9 සහ 10 දෙදිනදී පැවැත් වී තිබෙනවා.
ඒ අනුව ඇතුගල් පුරයෙන් සාර්ථකව අවසන් කෙරුණ මීළඟ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන මාර්තු 16 සහ 17 දිනවල අභිමානවත් පුලතිසි පුරවරයේ පැවැත්වීමට නියමිතයි.
වැඩසටහන එම දෙදින තුළ පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස පැවැත්මට අපේක්ෂා කෙරෙන බවද සඳහන්.
‘ජයගමු ශ්‍රී ලංකා’ මාර්තු 09 – 10 දෙදින පැවති වැඩසටහනේදී පාසල් උපකරණ බෙදාදීම, ශ්‍රම වාසනා අරමුදල්, දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳව දිරිගැන්වීමේ දේශන මාලාව, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, එම පවුල්වලට විවිධ ප්‍රතිලාභ ලබාදීම, තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ලබාදෙන ස්මාට් යූත්, අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදෙන ගරු සරු, ශ්‍රම වාසනා අරමුදල විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් උපකරණ ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් ‘ජයගමු ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ඉහත දෙදින තුළදී සිදු කෙරුණා..
විදෙස් රැකියා අවස්ථා කුරුණෑගල ජනතාව වෙත රැගෙන යමින් ක්‍රියාත්මක කෙරුණ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවයට විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට අධික සංඛ්‍යාවක් එක්ව සිටි අතර විදෙස් රැකියා සදහා ලියාපදිංචි කිරීම්ද එහිදී සිදු කෙරුණා
‘මගෙන් පටන්ගමු – ජයගමු ශ්‍රී ලංකා’ – ‘ස්මාට් වැඩ්ඩන්’ ජනතා ජංගම සේවය සඳහා දිස්ත්‍රික්කයේ රැකියා සහ විදේශ රැකියා අපේක්ෂිත බොහෝ දෙනෙකුගේ ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙනවා.
වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී “මෙතන ඉන්න වෘත්තීය පුහුණුව නැති, වෘත්තීය කරන අයට සහතිකපත්‍ර ලබා දීමත් අපි ආරම්භ කරනවා. ඔබට සීඩා ආයතනයේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔවුන් ඔබේ දැනුම පරීක්ෂා කර සහතිකපත් ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් සමග සාකච්ඡා කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සමග එක් වෙලා ඔබට ගෙවන්න සූදානම්. සහතිකය තියෙනවා නම් ලංකාවේ වැඩ කරන්න පුළුවන්. පිටරට යනව නම් සහතිකය සමග එයත් පුළුවන්. රැකියාව සඳහා බලපත්‍රයක් ලබා දීම අපි සිද්ධ කරනවා. ඔබ ඒ සඳහා වියදම් කරන්න ඕන නෑ. ඒ සඳහා වන වියදම රජය, ජාත්‍යන්තර සංවිධාන, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දරන්න සූදානම්. මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන කිව්වේ. අනෙක් ක්ෂේත්‍රවල අයටත් තමන්ගේ සහතික ගන්න ඕන මුදල් ගෙවීම අපි සම්පාදනය කරනවා. මේ මුලපිරීමක් විතරයි. ” යනුවෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කලා
The post වෘත්තීය පුහුණුව නැති, වෘත්තීය කරන අයට සහතිකපත් ? appeared first on ITN News.