මධ්යම පළාතේ ගිලන් රථ රියදුරන්ට විශේෂ පුහුණු වැඩමුළුවක්
ඉදිරි වසර කිහිපය තුළ දිවයිනේ සියළු ප්රාථමික සෞඛ්ය ආයතන සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව සෞඛ්ය ලේකම්වරයා පවසයි.
මධ්යම පළාත් සෞඛ්ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරු මහතුන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම අරමුණු කරගෙන විශේෂිත පුහුණු වැඩමුළුවක් පවත්වා ඊට අදාළ සහතික පත්ර ප්රදානය සහ ගිලන් රථ රියදුරන් හඳුනා ගැනීම සඳහා නිල කබායක් ලබාදීමේ උත්සවය පසුගියදා නුවර “Simulation Centre” හන්තාන හී දී සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහිපාල මහතාගේ ප්රධානත්වයෙන් සිදු කළා.
මධ්යම පළාතේ විශේෂිත, තෘතියික, ද්විතීයික සහ පර්යන්ත රෝහල්වල හදිසි ප්රතිකාර රෝගී අංශවල (ETU) ප්රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා විශේෂඥ වෛද්ය, වෛද්ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩල සදහා පසුගිය කාලය තුල විශේෂ වැඩසටහන් රැසක් ක්රියාත්මක කර තිබෙනවා.
එම වැඩසටහනට සමගාමීව මධ්යම පළාතේ මහනුවර, නුවරඑළිය, මාතලේ දිස්ත්රික්කවල සෞඛ්ය දෙපාර්තමේන්තුවේ සියළු රියදුරු මහතුන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම සදහා ද වැඩමුළුවක් පවත්වා එම වැඩමුළුවට අදාලව පැවැත් වූ ලිඛිත හා ප්රායෝගික පරීක්ෂණ වලින් වැඩිම ලකුණු ලබාගත් ගිලන් රථ රියදුරන්ට මෙහිදී සහතික පත් ලබාදීමට පියවර ගත් අතර, ගිලන් රථ රියදුරන් හඳුනා ගැනීම සඳහා නිල කබායක් ලබාදීම ද සිදු වූ අතර, මෙම උත්සව අවස්ථාව සඳහා මධ්යම පළාතේ ගිලන් රථ රියදුරු මහතුන් 200 ක් පමණ සහභාගි කරගෙන තිබුණා.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්ය ලේකම්වරයා කියා සිටියේ සෞඛ්ය අමාත්යාංශයේ ප්රමුඛතාවය ගුණාත්මක, ප්රශස්ත සෞඛ්ය සේවාවක් ජනතාවට ලබාදීම බවත්, ඒ සදහා නව දිශානතියක් වශයෙන් ගමන්මග වෙනස් කරමින් ප්රාථමික සෞඛ්ය සේවාව වඩා ශක්තිමත් කිරිම සඳහා අවධානය යොමු කර තිබෙන බවයි.
මෙරට රෝහල් පද්ධතියේ දහසකට වඩා ප්රාථමික සෞඛ්ය ආයතන වන බවත්, පසුගිය කාලය තුල ලෝක බැංකු ආධාර යටතේ රෝහල් 450 ක් සම්පූර්ණයෙන්ම නැවැත සංවර්ධනය කළ බවත්, ඉදිරි වසර තුන හතර තුළ ඉතිරි සියළු ප්රාථමික සෞඛ්ය ආයතන සංවර්ධනය කිරිමට පියවර ගනිමින් මහජනතාවට වඩා කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසුවා.
රියදුරු මහතුන් යනු සෞඛ්ය සේවාවේ කොටසක් බවත්, ගිලන් රථ රියදුරන් සඳහා ප්රශස්ත මට්ටමේ පුහුණුවීම් පසුගිය කාලය පුරා ලබාදුන් බවත්, එම පුහුණුවීම් ලද ගිලන් රථ රියදුරන්ට ඊට අදාල සහතික පත්රයක් සහ විශේෂ ජැකට්ටුවක් ලබාදීමට කටයුතු කරන බවත්, මධ්යම පළාතෙන් ආරම්භ කළ මෙම පුහුණුව මෙරට සියළුම පළාත් ආවරණය වන සේ ක්රියාත්මක කරමින් සපයන සේවාවන් හි ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරිමට බලාපොරොත්තු වන බව ද පැවසුවා.
මෙම අවස්ථාවට මධ්යම පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය නිහාල් වීරසූරිය, මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂවරුන්, නිර්වින්දක විශේෂඥ වෛද්ය ශිදර්ශී කිරිවත්තුඩුව පේරාදෙණිය රෝහලේ ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය ජානක ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂඥ වෛද්ය, වෛද්ය, හෙද ඇතුලු සෞඛ්ය කාර්ය මණ්ඩල එක්ව සිටියා.
The post මධ්යම පළාතේ ගිලන් රථ රියදුරන්ට විශේෂ පුහුණු වැඩමුළුවක් appeared first on ITN News.