දේවගැති ජෙරොම්ගේ විමර්ශනවල ප්රගති වාර්තාවක් ඉල්ලයි
ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්රකාශයක් සිදු කළේ යැයි කියනු ලබන දේවගැති ජෙරොම් ප්රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි දෙසතිය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.
අදාළ ප්රකාශය සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.
මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර දේවගැති ජෙරොම් ප්රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන දෙකක් සිදුකරන බව සඳහන් කළා.
ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් එක් විමර්ශනයක් සිදුකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩුකරයක් පවතින බවත් නියෝජ්ය සොලිසිටර් ජෙනරල්වරයා පැවසුවා.
ඊට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වග උත්තරකරුට එරෙහිව තවත් විමර්ශනයක් සිදු කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙන බවත් ඔහු පැවසුවා.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්ය සොලිසියට ජෙනරල් වරයා ආගම්වලට අපහාසමක වන ආකාරයේ ප්රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් ඊට අදාළව වග උත්තරකාර දේව ගැතිවරයාගේ කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බවත් සඳහන් කළා.
එහෙත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන කටහඬ පරීක්ෂාවට ලක් කරන යන්ත්රයේ පසුගිය මාස දෙක තුළ පැවති දෝෂ සහගත තත්ත්වය නිසා එම පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා කෙසේ වෙතත් එම කටහඬ පරීක්ෂණ වාර්තාව ඉදිරි සති දෙක තුළ ලබාදිය හැකි බවට රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී තිබෙන බවත් පැවසුවා.
ඊට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වග උත්තරකාර දේව ගැතිවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව පුද්ගලයින් 30 දෙනෙකුට අධික සංඛ්යාවකගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බවත් සමාගම් 18 ක් විමර්ශනයට ලක් කර තිබෙන බවත් නියෝජ්ය සොලිසියට ජනරාල්වරයා සඳහන් කර සිටියා.
එම සමාගම් 18 අතුරින් සමාගම් 06 ක වග උත්තර කාර දේව ගැතිවරයා සෘජුවම සම්බන්ධ වී අධ්යක්ෂකවරයකු වශයෙන් කටයුතු කරන බවත් සෙසු සමාගම් සමගද සම්බන්ධකම් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසූ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා එම සමාගම් 18 ම විගණන වාර්තා ලබාගෙන ස්වාධීන වෝහාරික විගණනයක් මේ වන විට සිදුකරමින් පවතින බවත් පැවසුවා.
මෙම විමර්ශන අවසන් කොට වාර්තා නීතිපතිවරයා වෙත ලැබීමෙන් පසුව මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවත් නියෝජ්ය සොලිසිටර් ජෙනරල් දිලිප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියා.
ඉන් අනතුරුව සර්ව ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේවන විට සිදුකෙරෙන විමර්ශන අර්ථවත් ආකාරයෙන් සිදුවන්නේද? යන්න පිළිබඳව තමන් තුළ ගැටළුවක් මතුවී තිබෙන බව පැවසුවා.
මෙම දේවගතිවරයාගේ ගිණුම්වල රුපියල් බිලියන 11 කට අධික මුදල් හුවමාරු වීමක් සිදු වී තිබෙන බව මීට පෙර නීතිපතිවරයා අධිකරණය හමුවට දැනුම්දී තිබුණද ඒ සම්බන්ධයෙන් අර්ථවත් විමර්ශනයක් සිදු කරන ආකාරයක් දක්නට නොලැබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අග විනිසුරු වරයා ප්රමුඛ විනිසුරු මඩුල්ල නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් වරයාට නියෝග කළේ දේවගැති ජෙරෝම් ප්රනාන්දු සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර තිබෙන විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.
එමෙන්ම මෙම විමර්ශනවලට අදාළව මහේස්ත්රාත් අධිකරණ හමුවේ ගොනුකර තිබෙන සියලුම “බී” වාර්තාවල පිටපත් මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඉන් අනතුරුව පෙත්සම යළි ජුනි මස 10 වනදා කැඳවීමටද නියම වුණා.
The post දේවගැති ජෙරොම්ගේ විමර්ශනවල ප්රගති වාර්තාවක් ඉල්ලයි appeared first on ITN News.