ආසියානු තරුණ ක්‍රිකට් ජවය උද්ධීපනය කරමු
ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මෙහෙයවීමෙන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ දී සංවිධානය කරන ලද ආසියානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය මෙරට සංවිධානය කිරීමෙන් පාසල් හා තරුණ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් සංවර්ධනය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ආසියාව පුරාම ව්‍යාප්ත වන්නකි.
දැනට අන්තර්ජාතික ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය ලබා නොමැති මැලේසියාව, සිංගප්පුරුව, නේපාලය හා ඇෆ්ගනිස්ථානය වැනි රටවල්හි තරුණ ජවය ක්‍රිකට් ක්‍රීඩාව දෙසට නැඹුරුවීමෙන් නිරන්තරයෙන් ම ක්‍රිකට් ක්‍රීඩාව එම රටවල ප්‍රචලිත වී ඔවුන්ට ජගත් සමුළුවේ පූර්ණ සාමාජිකයෙකු වීමට උත්සාහ දරනු නියත ය.
ආසියානු කුසලාන 19න් පහළ මූලික වටයේ දී නේපාලය ශ්‍රී ලංකාවට පරාජය වූයේ ලකුණකිනි. ශ්‍රී ලංකාව පරාජය කිරීමට ද ඔවුන්ට අවස්ථා තිබිණි. තරගාවලියට ඉදිරිපත්ව සිටී තවත් ප්‍රබලම කණ්ඩායමක් වන පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයට පරාජයවීමෙන් පාකිස්ථානයට අවසාන පූර්ව වටයට පවා සුදුසුකම් ලැබීමට අවස්ථාව නොලැබිණි. ඇෆ්ගනිස්ථානය නේපාලය හා සිංගප්පුරුව හා මැලේසියාව වැනි කණ්ඩායම් මෙවැනි දක්ෂතා පෙන්වීමෙන් පෙනීයන්නේ ඔවුන් යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ලබා ඇති ප්‍රගතියයි. මෙතරම් දක්ෂ කණ්ඩායම් මේ තරගාවලියට ඉදිරිපත් කිරීමට මෙම රටවල පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රබල තත්ත්වයක තිබීම අනිවාර්යය.
පාසල් අවධියේ දී මෙලෙස දස්කම් දක්වන නේපාල, ඇෆ්ගනිස්තාන, සිංගප්පුරුව හා මැලේසියා ක්‍රීඩකයනට දැන් තිබෙන එකම බාධකය ඔවුන් පාසලෙන් ඉවත්වන විට අවුරුදු තුන හතරක් යනතුරු ක්‍රීඩා කිරීමට එම රටවල ප්‍රබල තරගාවලියන් හා ක්‍රීඩා සමාජ නොමැතිවීමය. ආර්ථික ප්‍රශ්න ද එම ක්‍රීඩකයනට හා සමාජවලට බලපානවා විය හැකිය. ජගත් ක්‍රිකට් කවුන්සලය සහ ආසියානු ක්‍රිකට් කවුන්සලය අදාල රජයන් ද දැනුවත් කර එම ක්‍රීඩකයනගේ තරුණ ජවයට ආධාර කළහොත් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයට ආසියාවෙන් තවත් දක්ෂයන් රැසක් එක්වනු සිකුරුය.
ආසියාවට අයත් නේපාලය ඇෆ්ගනිස්තානය හා මැලේසියාවට අනාගතයේ දී ජගත් ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය (ටෙස්ට් තත්ත්වය) හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසූ නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණි ජගත් ක්‍රිකට් සමුළුවේ ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිචඩ්සන් මහතා එම රටවල දක්ෂ නැගී එන තරුණ ක්‍රීඩකයන් සිටින බව ද කීවේය. මේ හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දහයක සංඛ්‍යාව ඉදිරියේ දී 15ක් පමණ වනු ඇතැයි ද හේ පැවසීය.
ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ආසියාවේ තරුණ ක්‍රිකට් සංවර්ධනය ව්‍යාප්ත කිරීමට අනාගතයේ දී අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් තරගාවලියක් වාර්ෂිකව පැවැත්වීමටත් අවුරුදු 16න් පහළ ආසියානු කුසලාන තරගාවලියක් සංවිධානය කිරීමටත් තමා අදාළ නිලධාරීනට උපදෙස් දෙන බව ප්‍රකාශ කිරීමෙන් ද සනාථ වන්නේ අනාගතයේ ආසියානු ක්‍රිකට් උද්ධීපනයයි.
නොබෝදා ශ්‍රී ලංකාව පැවැති ආසියානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරග බැලු අයෙකුට පෙනීයන්නේ එම තරගාවලියට ක්‍රීඩාකළ රටවල් අටේම අනාගතයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකළ හැකි තරුණයන් රැසක්ම ආසියාව සතු බවය.
ඇෆ්ගනිස්තානය වැනි රටක් මූලික වටයෙන් සුදුසුකම් ලබා ශ්‍රී ලංකාව ඉන්දියාව බංග්ලාදේශය සමග අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීම ද විශේෂත්වයකි. දැන් අවශ්‍ය වන්නේ ඇෆ්ගනිස්තානය, නේපාලය හා මැලේසියාව වැනි කණ්ඩායම්වලට අතදීම පමණෙකි. එම ක්‍රීඩකයනට රැකියා ක්‍රිකට් පහසුකම් හා අන්තර්ජාතික තරගාවලියන්හි අත්දැකීම් අත්‍යාවශ්‍යය. ශ්‍රී ලංකාවට පුහුණුකරුවන් හා තාක්ෂණ ක්‍රමවේද මගින් ඔවුනට සහාය විය හැකිය.
ආසියානු ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් ම කොළඹින් පිටත සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යෙදීමෙන් මෙරට පිටපළාත්වල ක්‍රීඩාලෝලීන්ට අන්තර්ජාතික තරග නැරඹීමේ අවස්ථාව ද උදා වී තිබිණි.
-බන්දුල මොල්ලිගොඩ-
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-