එතෙර සංචාර දෙකක නිමාව
දකුණු අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ පැවැති 20 – 20 තරගාවලි දෙකම 2 – 1 බැගින් ජය ගැනීමෙන් පසු එම සංචාරයන් බදාදා (22) නිමාවට පත්විය. ප්‍රතිවාදී කණ්ඩායම් දෙකම ලොව ප්‍රබලම තත්ත්වයේ සිටින හෙයින් මේ ජයග්‍රහනයන් පිළිබඳව අපට සතුටු විය හැකිය.
සැමදා සැම දක්ෂ ක්‍රීඩකයෙකුටම දස්කම් පෙන්වීමට නොහැකිවීම ස්වභාවයයි. අසේල ගුණරත්නට තුන්වන හා අවසාන 20 – 20 තරගයේ දී ඕස්ට්‍රේලියාව සමග කැපී පෙනෙන දස්කම් පෙන්වීමට නොහැකි වුවත් ප්‍රථම හා දෙවන තරග දෙකේ දී පිත්තෙන් හා පන්දුවෙන් පෑ දස්කම් මත තරගාවලියේ විරයා ලෙස තේරිණි. ඊටත් වඩා වටින්නේ පසුගිය ඉරිදා රාත්‍රී උදා වී සඳුදා පහන්විමට පෙර අසේල ගුණරත්නගේ නම ලෝක ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රචලිත වීමය.
ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තෙවන හා අවසාන 20 – 20 තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 41කින් ජය ලබා තම රටේ දී තරගාවලියම 3 – 0 කින් පරාජය වීමේ අවමානයෙන් ගැලවිණි. තරගයෙන් පසුව පරාජයට හේතු කියාපෑම නිෂ්ඵල ක්‍රියාවක් වුව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙදින පරාජයට ප්‍රධාන හේතුන් කිහිපයකි. ප්‍රථම හා දෙවන තරග දෙකේ දී ම හොඳ ආරම්භයක් ගත් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ඉදිරි තරග දෙකක් තහංචිවීමෙන් ලංකා පිලට විශාල පාඩුවකි. නිරෝෂන් දික්වැල්ල හා දිල්ෂාන් මුණවීර හොඳ වේගවත් ආරම්භයක් ගත් කළ ඉදිරි පෙළ ඉතිරි පිතිකරුවනට එය ඉදිරියට ගෙනයාම පහසුය. හොඳින් උඩ පන්දු රැකීම තරග ජයග්‍රහනය ගෙන දෙනවා මෙන් ම උඩ පන්දු අත හැරීම පරාජය ද ගෙන එන බව නැවත වතාවක් කිව යුතු වේ. තුන්වන 20 – 20 තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාවේ නායක ඒරන් ෆින්ඩ් හා මයිකල් ක්ලින්ගර් මුල් විකට්ටුට ලකුණු 79ක් රැස් කළේ පන්දු 51ක දී ය. ඕස්ට්‍රේලියාව ලකුණක්වත් ලබා ගැනීමට පෙර ලසිත් මාලිංග යැවූ පළමු ඕවරයේ සිව්වැනි පන්දුවට නායක ෆින්ච්, දිල්ෂාන් මුණවීරට දුන් පහසු උඩ පන්දුව බිම අතහැරිණි. පසුව ෆින්ච් පන්දු 32ක දී ලකුණු 53ක් ද රැස් කළේ හතරේ පහක් හා හයේ පහර තුනක් සමගිනි.
ලකුණු 188ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායාමට ආ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් නායක උපුල් තරංග හා මුනවීර ලකුණු 41කින් හොඳ ආරම්භයක් ගත්තත් මැදපෙළ සාර්ථක නොවීය.
දික්වැල්ලගේ ද ස්ථානයට පැමිණි මුනවීර තම කාර්යය හොඳින් ඉටු කරමින් පන්දු 23ක දී හතරේ තුනක් හයේ දෙකක් සමග ලකුණු 37ක් ලැබීය. මිලින්ද සිරිවර්ධන පන්දු 27ක දී ලකුණු 35ක් රැස් කළ අතර ඊට හතරේ පහරක් හා හයේ පහර දෙකක් ඇතුළත් විය. ශ්‍රී ලංකා නායක උපුල් තරංග මේ තරග තුනේ දී ම (පුහුණු තරගයත් සමග 4යි.) කාසියේ වාසිය දිනුවත් තරග තුනේ දී ම පිත්තෙන් දස්කම්පෑමට සමත්වූයේ නොමැත. අවසාන තරගයේ වීරයා වුයේ ඕස්ට්‍රේලියාවේ දඟපන්දු යවන ඇඩම් සම්පාය (ලකුණු 25ට කඩුලු 3යි)
ඕස්ට්‍රේලියාව ඕවර 20 දී කඩුලු 6ට 187යි. ඒරන් ෆින්ච් 53යි. මයිකල් ක්ලින්ගර් 62 ලසිත් මාලිංග 35ට 2යි. දසුන් ශානක 27ට 2යි.
ශ්‍රී ලංකාව ඕවර 18 දී සියලු දෙනා දැවී 146යි. ඩිල්ෂාන් මුනවීර 37 මිලින්ද සිරිවර්ධන 35යි. ෆොක්නර් 20ට 3යි. සම්පා 25ට 3යි.
බංග්ලාදේශ 27 වන දා (පෙබරවාරි) සිට ශ්‍රී ලංකාවේ
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පස්දින ටෙස්ට් තරග දෙකකට එක්දින තරග තුනකට හා 20 – 20 තරග දෙකකට සහභාගි වීම සඳහා මේ මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමණීමට නියමිතය.
ප්‍රථම ටෙස්ට් තරගය මාර්තු 7 සිට 11 දක්වා ගාල්ල ක්‍රීඩාංගනයේත් දෙවන ටෙස්ට් තරගය මාර්තු 15 සිට 19 දක්වා වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේත් ප්‍රථම හා දෙවන එක්දින සිමිත ඕවර 50 තරග දෙක මාර්තු 25 සහ 28 දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේත් තෙවන එක්දින තරගය අප්‍රේල් 1 දා එස්. එස්. සී පිටියේත් පැවැත්වීමට නියමිතය. 20 – 20 තරග දෙක පැවැත්වනුයේ මාර්තු 5 සහ 8 දිනවල මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ය.
මේ තරගාවලියට සහභාගි වන බංග්ලදේශ කණ්ඩායමට ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැන් නම් කර සිටී. දිගු කළක් ආබාධයට ලක්ව සිටී වමතින් වේගපන්දු යවන මුස්ටෆිර් රහ්මන් ටෙස්ට් තරගාවලිය සඳහා නැවත නම් කර තිබේ. සරවනමුත්තු පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය බංග්ලදේශයේ සියවන ටෙස්ට් තරගයයි. කණ්ඩායමට වේග පන්දු යවන්නන් පස් දෙනෙකුම ඇතුළත්ව ඇත. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ශ්‍රී ලාංකික චන්දික හතුරුසිංහය.
බංග්ලදේශ කණ්ඩායම – මුස්ෆිකර් රහිම් (නායක) ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, මොමිනුල් හක්, මහුමදුල්ලා රියාඩ්, ෂාකිබ් අල් හසන්, සබීර් රහ්මන්, ලිටන් දාස්, ටයිජුල් ඉස්ලාම්, ටස්කින් අහ්මඩ්, කම්රාල් ඉස්ලාම්, මුස්ටාෆිර් රහ්මන්, මෙහෙඩි හසාන්, එම්. හොසෙන්, සුභාෂිස් රෝයි, රුබෙල් හොසෙන්
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-