තරගාවලියේ ජය සිම්බාබ්වේට
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ වසර 25ක එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලියක් ජය ලැබුවේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේ තරග 3 – 2කින් ජය ගනිමිනි.
සූරියවැව දී පැවැති පස්වන හා අවසාන තීරණාත්මක තරගයේ වාසිය දෙපිලටම දෝලනය වෙමින් තිබය දී තුන් ඉදිරියව් ක්‍රීඩක සිකන්දර් රාසා සිම්බාබ්වේ අටවන කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 27ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියේය. රාසා පන්දු යැවීමේදීද ඕවර දහයක් යවා ලකුණු 21කට ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකුම දවාලීය. තුන් ඉරියව්වේම දස්කම් මත තරගයේ වීරයා ලෙස නම් කෙරුණේද මොහුය.
ශ්‍රී ලංකා පිතිකරුවන් හය දෙනෙකුම පෞද්ගලිකව ලකුණු දහය ඉක්මවීමට අසමත් වී කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 203ක් පමණෙකි. ඕවර 41කදී ලකුණු 153කට කඩුලු 8ක් දැවී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයක සිටියදී අසේල ගුණරත්න සහ දුෂ්මන්ත චමීර නවවන කඩුල්ලට නොදැවී ලකුණු 50ක් (ඕවර නවයකදී) රැස් කිරීමෙන් ලකුණු 200 සීමාව ඉක්මවීමට ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිණි.
ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක (ලකුණු 52යි පන්දු 86යි හතරේ 5යි) නායක ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 24යි පන්දු 47යි හතරේ 4යි) අසේල ගුණරත්න (නොදැවී 59යි පන්දු 81යි හතරේ 4යි) සහ දුෂ්මන්ත චමීර (නොදැවී 18යි පන්දු 31යි හතරේ එකයි) ඉලක්කම් දෙක ඉක්ම වූ ලංකා පිතිකරුවන් සිව්දෙනාය. පිට පිටම ශතක දෙකක් ලැබූ නිරෝෂන් දික්වැල්ල මෙදින ලැබුවේ ලකුණු තුනක් පමණි. කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ මුලින් පන්දුවට පහරදීම ලංකා පිලට පැවරීය. දික්වැල්ල (03) කුසල් මෙන්ඩිස් (01) හා ලකුණු අතර සිටි පිතිකරු උපුල් තරංග (06) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීයාමෙන් නවවන ඕවරය වන විට ලංකා පිල කඩුලු 3කට ලබා සිටියේ 31කි. මැතිව් හා ගුණතිලක සිව්වන කඩුල්ලට ලකුණු 47ක්ද ගුණතිලක හා අසේල ගුණරත්න පස්වන කඩුල්ලට ලකුණු 41ක් ද රැස් කිරීමෙන් පසු ලංකා ඉනිම නැවතත් කඩා වැටිණි.
සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා හැමිල්ටන් මසකඩ්සා (ලකුණු 73යි පන්දු 89යි හයේ පහරයි හතරේ නවයයි) හා සොලමන් මයර් (ලකුණු 43යි පන්දු 32යි. හයේ දෙකයි හතරේ පහයි) ඕවර 14.2කදී ලකුණු 92ක් රැස් කරමින් සිම්බාබ්වේට ඉක්මන් ජයග්‍රහණයක් කරායන ලකුණු පහළ කළහ. මේ අවස්ථාවේ අකිල ධනංජය ලකුණු 47ක ට කඩුලු 4ක්ද ලසිත් මාලිංග කඩුලු දෙකක්ද දවාලීමෙන් සිම්බාබ්වේ පිල ලකුණු 175කට කඩුලු 7ක් දැවී ලංකා පිල ජයග්‍රහණය කරායන සෙයක් දක්නට ලැබිණි. වෙනත් මතයක් දැරූ සිකන්දර් රාසා සටනක නිරතව නොදැවී ලකුණු 27ක් ලබා ජයග්‍රහණය නැවත තම කණ්ඩායම වෙත ලබාගත්තේය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-